fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහමැතිවරණ පෙත්සම් වැඩිදුර විභාගය හෙටට කල්තැබේ

ITN News Editor
By ITN News Editor මැයි 27, 2020 18:48

ලබන මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීම හා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගය ලක් කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සළකා බැලීම හත් වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සිදු කෙරුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරේ ,  සිසිරද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම් සළකා බැලීම සිදු කෙරුණේ.

නීතිපතිවරයා වෙනුවෙන් දේශන ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මියගේ කරුණු දැක්වීම අද අවසන් කළා. අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ මහාචාර්ය පණ්ඩුල ඇදගම මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා අනතුරුව කරුණු දැක්වීම සිදු කළා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ඉකුත් මාර්තු මස 02 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවයි ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා  සිටියේ. එම ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීති ප්‍රතිපාදනය නොමැති බව පෙන්වා දුන් මනෝහරද සිල්වා මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරි දිනයේ සිට මාස 03 ක් ඇතුළත  මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව රැස්කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදනයක් සළසා නොමැති බවද අවධාරණය කළා.

විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස පෙත්සම්කරුවන් අයැද සිටියත්  එවැනි පියවරක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළන් කිසිඳු අවසරයක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. මහමැතිවරණ දිනය තීරණය කිරිම සඳහා මැතිවරණ කොමිසමට ස්වාධීනව තීන්දුවක් ගත හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා සිදු කළ ප්‍රකාශය ද ඒ මහතා සිහිපත් කළා. අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළේ පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත්කරන කරුණුවල පරස්පර තත්ත්වයක් දක්නට ඇති බවයි.

පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට පංචපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. අතරමැදි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් හෙට දිනයේ කරුණු දැක්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2020 18:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්