fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැගෙනහිර පුරාවස්තු ආරක්ෂාකර ගන්න ජනාධිපති කාර්යසාධක බලකායක්

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 11:42

නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්‍ෂා කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම බලකාය පත් කිරීමට නියමිතයි. බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා.

අතිපූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. නැගෙනහිර පළාතේ පුරාවස්තු පිළිබඳ සමීක්‍ෂණය කර ඒවා සංරක්‍ෂණයට පියවර ගන්නා බවයි ජනාධිපතිතුමා කියාසිටියේ. බුදු දහමට හා ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්‍ෂු ක්‍රියාකාරකම් හේතුවෙන් ශාසන කථිකාවතක අවශ්‍යතාව මහා සංඝරත්නය මෙහිදී පැහැදිලි කළා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කළහොත් තම ධුර කාලයේදී ඊට අවශ්‍ය පිලියම් යෙදිය හැකි බවයි ජනාධිපතිතුමා කියාසිටියේ. ලොව බලවත් රටවල් කොරෝනා වෛරසය අභියස කඩා වැටෙද්දී ජනතාව රැක ගනිමින් ජනාධිපතිතුමා ඉටු කරන මෙහෙය මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක් වුණා. අප්‍රේල් 30 වනදායින් පසු බාහිර සමාජයෙන් කොවිඩ් රෝගීන් වාර්තා නොවීම ජයග්‍රහණයක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. විදේශයන් හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ ද ජනාධිපතිතුමා පැහැදිලි කළා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයට යොමු වුණා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි ජනාධිපතිතුමා කියාසිටියේ. මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද මහා සංඝරත්නය අවධාරණය කළා. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටු කරන බව ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා දක්‍ෂ හා හැකියාව සහිත නිලධාරින් පත්කර ඇති බව ද පෙන්වා දුන්නා. බුද්ධි අංශ ශක්තිමත් කර ඇති අතර අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය සඳහා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ද කියාසිටියා.

රණවිරු සැමරුම් උලෙළේ දී ජනාධිපතිතුමා කළ කතාවට උපහාර දැක්වීමට ශබ්ද කෝෂයේ වචන නැති බවයි මහා සංඝරත්නය ආශිර්වාද කරමින් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව කෝවිඩ් පරාජය සඳහා ගත් පියවර ලොව සියලු රටවල් අගයද්දී විපක්‍ෂය ඉතා කුහක ලෙස කටයුතු කිරීම පිළිකුලෙන් හෙළා දකින බව මහා සංඝරත්නය කියාසිටියා. කෝවිඩ් වසංගතයෙන් ව්‍යාකූලත්වයට පත් සමාජය ප්‍රකෘත්ති තත්ත්වයට පත් කිරිමේදී මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් පවතිනවා. භික්‍ෂූන්වහන්සේගෙන් සැදුම් ලත් කමිටුවක් තුළින් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත දැනුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo