fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිය ගිය පාර්ලිමේන්තුවට යළි පණ දෙන්න බෑ – ජනාධිපති නීතිඥ රොමේෂ් අධිකරණයට පහදයි

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 18:03

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ජනාධිපති ලේකම් පි බී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ වත්මන් රජය කොරෝනා වෛරසය සාර්ථක ලෙස මර්දනය කර ඇති බැවින් පෙත්සම්කරුවන් පවසන ආකාරයට පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි. මිය ගිය පාර්ලිමේන්තුවට යළි පණ ලබා දිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළා.

මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ දේශපාලන ගනුදෙනුවක ප්‍රථිපලයක් අනුව බවයි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ. බහුතරයක් පෙත්සම් ගොනුකර ඇත්තේ සමඟි ජනබලවේගය පක්ෂය යටත් තරග කරන පුද්ගලයන් වනවා. ඔවුන්ගේ පරමාර්ථය කෙසේ හෝ යළි පාර්ලිමේන්තුවට ඇතුළු වීම බව ද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා. මියගිය පාර්ලිමේන්තුවක් යළි කැඳවීමට අධිකරණයට බලයක් නොමැති බවයි ඒ මහතා කියා සිටියේ.

නීතිය අර්ථ නිරූපණය කිරීමේදී මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එය සිදු කළ යුතු බවද ජනාධිපති නීතීඥවරයා අවධාරණය කළා. නාමයෝජනා භාර ගැනීම රජයේ නිවාඩු දින වලදී සිදුවූ බවට නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ රොමේෂ් ද සිල්වා මහතා නාම යෝජනා සඳහා දින වකවානු තීරණය කිරීම ජනාධිපතිවරයා හෝ මැතිවරණ කොමසාරිස්වරයා ඔවුන්ගේ අභිමතය අනුව සිදුකරන දෙයක් නොවන බවත් එය පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව සිදුවන බවත් කියා සිටියා.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය අනුව නිවාඩු දිනවල එනම් පෝය දින වුවද නාමයෝජනා කැඳවීමට බාධාවක් නොමැති බවයි ජනාධිපති නීතීඥවරයා සදහන් කළේ. නිවාඩු දිනවල නාම යෝජනා කැඳවීමට අදාළව කිසිවෙකුත් ඒ අවස්ථාවේදී පැමිණිලිකර නොතිබූ බවද ඒ මහතා සිහිපත් කළා. මුදල් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව යළි කැදවීමට අවශ්‍ය බවට නඟා ඇති කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වූ රොමේෂ් ද සිල්වා මහතා පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති අවස්ථාවකදී ඒකාබද්ධ අරමුදලේ මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයා වෙත පූර්ණ බලය පවරා ඇති බව පෙන්වා දුන්නා. එබැවින් මුදල් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්