රත්නපුර , කෑගල්ල , මාතලේ , මහනුවර , නුවරඑළිය , කොළඹ , කළුතර , ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලට නිකුත්කර තිබූ නායයෑම් නිවේදන තවදුරටත් ඒ අයුරින්ම වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් ජල ගැලීම් හා පස් කදු කඩාවැටීම් පිළිබඳ දිවයිනේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වනවා. අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට අඩුවී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
පසුගිය දින කිහිපයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයක් පැවතුණා. විශේෂයෙන් මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී පැවතුණා. කෙසෙල්ගමුව ඔය පිටාර ගැලීමෙන් එළවළු වගාවට දැඩි බලපෑම් එල්ලවුණා. එමෙන්ම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩැවැටීමෙන් ගමනාගමනයට පැවති බාධා පැවතුණා. එම මාර්ගයේ ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ ආගරපතන ප්‍රදේශයේ පවුල් 42 ක පුද්ගලයින් එකසිය හැටදෙදෙනෙකු අවතැන්ව සිටිනවා. එමෙන්ම එකමුතුගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටී තිබෙනවා. එම නිවසේ පදිංචිව සිටි පුද්ගලයින් නව දෙනෙකුගේ ජීවිත බේරා ගැණුනා.
රත්නපුරේ ස්ථාන දෙකක පස්කදු කඩා වැටීමෙන් කාන්තාවක හා වයස අවුරුදු 9 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. රත්නපුර වේවැල්වත්ත අලුපොල ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි දරුවෙකු හා බැරැන්ඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක මෙසේ මියගියා. එමෙන්ම රත්නපුර , බටුගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු ඔරුවක් පෙරලීමෙන් මියගියා.
ප්‍රදේශයේ පවත්නා ජල ගැලීම් හේතුවෙන් පවුල් 2055 ක් විපතට පත්ව සිටිනවා. රත්නපුර, නිවිතිගල, ඇලපාත , බලංගොඩ , කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් රැසක් ජලයෙන් යටවුණා.
බදුල්ල දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලහගම , මැදගොඩගම ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි හානි සිදුවුණා. ඌව පරණගම ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළගත් සමඟයි මෙසේ ගස් කඩාවැටීම් සිදුව තිබෙන්නේ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන කමිටුව රැස්වී ඉදිරියේදී ඇතිවිය හැකි ආපදාවකට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළා.
කුකුලේ ගඟ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ බුලත්සිංහල මෝල්කාව මාර්ගය ජලයෙන් යටවෙයි. එමෙන්ම ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී පවතිනවා.