fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 11 කට පෙර සැබෑ නිදහසේ අරුණැල්ලේ අසිරිය යළිත් සිහිවේ

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 12:08

ලොව දරුණුතම ත්‍රස්තවාදය ලෙස සැළකෙන LTTE ත්‍රස්තවාදය මව්බිමින් අතු ගා දමා දේශයට නිදහස උදාකර දීමට විරෝධාර රණවිරුවන් ඉටු කළේ මිල කළ නොහැකි මෙහෙවරක්. කොටි ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කර හෙටට 11 වසරක් සපිරෙනවා.

30 වසරක් පුරා මව්බිමට සාපයක්ව පැවති කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමුණේ 2009 වසරේ මැයි 18 වනදායි මිනිස් ජීවිත දහස් ගණනක් වනසමින් ලේ පිපාසියතයකු ලෙස පෙලුන වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදා ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධයේ නිමාව සනිටුහන් වුණා.

අහිංසක දෙමළ වැසියන් ලක්ෂ 03 කට ආසන්න පිරිසක්  කොටි ත්‍රස්තයින්ගේ ප්‍රාණ ඇපකරුවන්ව සිටියදී  ඔවුන් ඉන් මුදවා ගැනීමට ලොව දැවැන්තම මානුෂීය මෙහෙයුම දියත් කරමින් අපේ රණවිරුවන් ලොවටම ආදර්ශයක් ලබා දුන්නා. සේනාධිනායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊට නිසි නායකත්වය ලබා දෙද්දී වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවකට ආරක්ෂක ලේකම් ධුරය දරමින් යුද්දය අවසන් කිරීමට ඉටු කළේ දැවැන්ත මෙහෙයක්.

30 වසරක් පුරා පැවති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරදවා මව්බිමට සාමය උදාකරදීමට අපේ රණවිරුවන් කටයුතු කළේ ඇස් ඉස් මස් ලේ පමණක් නොව ජීවිතද දන් දෙමින්. රණ බිමේදී මව්බිමේ ඒකීය භාවය ස‍්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදූ යුද හමුදා විරුවන් සංඛ්‍යාව 23962 ක්.මහ සයුර වටා ආරක්ෂක වලල්ලක් නිර්මාණය කරමින් ත්‍රස්තයින්ගේ ප්‍රබලම බලකායක් වූ මුහුදු කොටින්ට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රස්තවාදය  පිටු දැකීමේ සටනේ කොටස්කරුවකු ලෙස පත් වූයේ ත්‍රස්තවාදය මැඩලීමේ සටනට තම උපරිම ශක්තිය ලබා දෙමින්. එහිදී නාවික හමුදාවේ විරුවන් 1160 දෙනෙකුද මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් තම අවසන් සුසුම් පොද වාතලයට එක් කළා.අහස් කුස ආවරණය කරමින් ත්‍රස්ත ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කළ ගුවන් හමුදාව ද LTTE ත්‍රස්තවාදය අවසන් කිරීමට තම උපරිම දායකත්වය ලබා දුන්නා. එහිදී ගුවන් හමුදා විරුවන් 443 දෙනෙකු මව්බිම් වෙනුවෙන් දිවි පිදුවා. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබූ පොලීසිය ඉන් ඔබ්බට තම කටයුතු පුළුල් කරමින් ත්‍රස්තවාදයට එරෙහිව ඉටු කළේ දැවැන්ත කාර්ය භාරයක්. එහිදී කොටි ත්‍රස්තයින්ට බිලි වූ පොලිස් විරුවන් සංඛ්‍යාව 2598 ක් ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා.

ගම්බිම් ආරක්ෂා කිරීමේ වගකීම කරට ගත් සිවිල් ආරක්ෂක බලකාය ද තම යුතුකම් ඉටු කළේ ත්‍රිවිද හමුදාවට ශක්තියක් ලබා දෙමින්. එහිදී එම බලකායේ විරුවන් 456 දෙනෙකුට දිවි අහිමි වුණා.  එමෙන්ම ත්‍රිවිද හමුදාවේ , පොලීසියේ හා ග්‍රාමාරක්ෂක බලකායේ සැලකිය යුතු රණවිරුන් පිරිසක් පූර්ණකාලීන ආබාධිත තත්ත්වයන්ට පවා පත් වූයේ රටෙහි සියලු පුරවැසියන්ට යහපත් හෙට දවසක් උදා කරදීම තම ඒකායන අරමුණ කරගනිමින් ඔවුන් කළ කැප කිරීම් හේතුවෙනි.

රණබිමේ  විරුවන් සමඟ උරෙනුර ගැටෙමින් වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ වූ දා සිට එහි අවසානය නන්දිකඩා කලපුවෙන් සනිටුහන් කරන තෙක් මව්බිමේ නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී අපද මෙම මෙහෙයුම හා එක්ව සිටියා.පෙරමුණු තුනකින් සේනාංක ඉදිරියට ඇදෙද්දී අපද එම පෙරමුණු 03 හි සිට සියලු තොරතුරු අඛණ්ඩව අප ප්‍රේක්ෂකයින්ට ගෙන ආවේ අපගේ ජීවිත අවදානමට වඩා එම අවස්ථාවේ රටෙහි අවශ්‍යතාව අනුව මාධ්‍ය වගකීම ඉටු කිරීම වෙනුවෙනි.

යුද්ධ අවසන් කරන විට එක් සේනාධිපතිධුරයක් හෙබවූ  කමල් ගුණරත්න මහතා මේ වන විට ආරක්ෂක ලේකම් ලෙසත් තවත් සේනාංකයක් මෙහෙයවු  ශවේන්ද්‍ර සිල්වා මහතා වත්මන් යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයක් වනවා. එමෙන්ම ආරක්ෂක ලේකම් ධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වන විට රටෙහි සේනාධිනාකයා වී සිටීමද මව්බිමට ආදරය කරන්නන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ වීමක්. එමෙන්ම එවකට සේනාධිනායකයා ලෙස යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමද විශේෂත්වයක්.සමස්ථ ජාතියම යුද ජයග්‍රණයේ 11 වන සැමරුමට හදවතින් ආශිර්වාද එක්කරද්දී මෙවර රණවිරු අනුස්මරණ උත්සවය හෙට පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්