බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව ඇති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති අතර එය ඉදිරියේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් නිරිත දිග කොටසේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
අම්භන් සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කිලෝමීර් 610ක් පමණ උතුරු අක්ෂාන්ශ 11.3 ත් නැගෙනහි දේශාංශ 86.1 ක් ආසන්නව ස්ථානගතව පවතිනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී හෙට උදෑසන වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්දනය වන බවට අනුමාන කරනවා. මෙය ඉදිරි දින 03 තුළ බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යන අතර දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍ර දේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස දැනුවත් කර තිබෙනවා. මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 දක්වා ඉහළ යන බැවින් ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානය යොමු කළ යුතුයි.
ගොඩනැගිලි පර්යේශන ආයතන මේ වන විට නිකුත් කර ඇති නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
දිවයිනේ ප්‍ර දේශ රැසකට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.ගංගා ජල මට්ටමද සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අත්තනගලු ඔයේ ජල මට්ටමද සීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ ගංවතුර අවදානමක් මතුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා.දූනමලේ ජල මාපාංකයේ ජලමට්ටම මීටර් 3.5 දක්වා ඉහළ ගොස් තිබුණා.
රත්නපුර නිල්ලකඩේ ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ශාව හේතුවෙන් නිවාස කිහිපයක හානි සිදු වුණා.ස්ථාන කිහිපයක පස්කදු සහ ගල් පෙරලීම හේතුවෙන්ද නිවාසවලට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ගාල්ල දිස්ත්‍රික්කයට ඊයේ දිනයේ ඇඳ හැලුණු අධික වර්ෂාව මේ වන විට පහව යමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.ගිංගඟෙහි ජල මට්ටමද සාමාන්‍ය මට්ටමක්ට පැමිණ ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ.
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුද රළු වීමත් සමඟ හලාවත තෝඩුවාව වෙරළ තීරයේ සිදු වන ඛාදනය වැලැක්වීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ගල්වැටි යොදා එම තත්ත්වය වැළැක්වීමට පියවර ගත් අතර වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස කිහිපයක් කැඩීයාමේ තර්ජනයකටද ලක්ව තිබෙනවා.