fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන් සොයන මෙහෙයුම පූජිත සහ නාලක නවත්තපු හැටි කොමිසමේදී පොලීසියම හෙළිකරයි

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 18:09

2016 වසරේදී සහරාන් හෂීම් නමැත්තා සොයා ගැනීම  සඳහා සිදුකිරීමට නියමිතව තිබූ පොලිස් මෙහෙයුමක් නවතා දමන ලෙස පොලිස්පතිවරයා තමන්ට උපදෙස් ලබා දුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන්ට දැන් වූ බව බුද්ධි අංශ නිලධාරියකු අද (16) අනාවරණය කළා.

පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

මේ අතර 2019 වසරේ අප්‍රේල් 21 වනදා  කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය සදහා ඉල්ලා තිබූ පොලිස් ආරක්ෂාව ලබා නොදුන් බව ද කටාන පොලිස් ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතා අද (16) කොමිසම හමුවේ පිළිගත්තා.

පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කරන ජනාධිපති ‍කොමිෂන් සභාවේ ඊයේ (15) දිනයේදී සාක්ෂි ලබා දෙමින් මීගමුව කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා සදහන් කළේ බුද්ධි අංශ මගින් නිකුත් කළ අනතුරු ඇගවීමේ ලේඛණය හැරුණු කොට මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා තමන්ව විශේෂ දැනුවත් කිරීමක් සිදු නොකළ බවයි. නමුත් 2019 අප්‍රේල 20 වනදා රාත්‍රියේදී  චන්දන අතුකෝරල මහතා දුරකතනය ඔස්සේ තමා අමතමින් කොට්ඨාසයේ ඕඅයිසීලා අවධානයෙන් තබන ලෙස තමාට දැනුම් දුන් බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ  දැනට මීගමුව කොට්ඨාසයේ සේවය කරන බුද්ධි අංශ නිලධාරියකු වන අතර ඔහුගේ පෞද්ගලික තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය නොවන අයුරින් කටයුතු කරන ලෙස කොමිසම මාධ්‍යයෙන්  ඉල්ලීමක් කළා. අදාළ බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ සහරාන් හෂීම් නමැත්තා පිලිබදව තමන් 2016 වසරේ සිට දැන සිටි බවයි. ඒ කෙසේද යැයි කොමිසමේ විමසීමට පිළිතුරු ලබා දෙමින් ඔහු සදහන් කළේ 2016 වසර වන විට තමන් ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ කල්මුනේ ප්‍රදේශයේ සේවය කළ බවත් එම වකවානුවේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සහ සහරාන් නැමැත්තකුගේ කණ්ඩායමක් අතර ගැටුමක් ඇති වූ බවත්ය. අදාළ ගැටුම සමබන්ධයෙන්   සහරාන් හෂීම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියෝගයක්ද  නිකුත් කර තිබූ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

මෙහිදී කොමිසම විමසා සිටියේ අදාළ කාලයේදී සහරාන් හසීම් පිලිබද සිදු කෙරුණු පරික්ෂණ සදහා බාධා සිදු වූයේද යන්නයි. ඒ වකවානුවේ සහරාන් හෂීම් නමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා තමන් ඇතුළු කණ්ඩායමක් විශේෂ මෙහෙයුමකට සූදානම්ව සිටි බවත් පසුව අදාළ මෙහෙයුම නවතා දමන ලෙස  පොලිස්පතිවරයා තමාට දැනුම් දුන් බව එවකට ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව  කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා   තමා සමග පැවසූ බවත් එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ කියා සිටියා.

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය අයත් වන කටාන පොලිස් ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතායි. මෙහිදී කොමිසම් සභාව විමසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් තමන්ව දැනුවත් කළාද යන්නයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අත්සනික් යුත් ලිපියක් තමාට ලැබුණු බව ඔහු එහිදී සදහන් කළා.

කටුවාපිටිය දේවස්ථානය සදහා එම දේවස්ථානයේ පූජකවරයකු පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියේ දැයි මෙහිදී කොමිසම ඔහුගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් චමින්ද නවරත්න මහතා සදහන් කළේ කඳවල දේවස්ථානයෙන් පමණක් පොලිස් ආරක්ෂාව තමාගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත්  කටාන ස්ථානාධිපතිවරයා මීට පෙර පොලිස් පරික්ෂණ සදහා ලබා දුන් ප්‍රකාශයන්හි සටහන් වී ඇත්තේ කටුවාපිටිය දේවස්ථානය ඔහුගෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි බවයි.

අනතුරුව කොමිසම් සභාව විසින් අදාළ ප්‍රකාශයන් ඇතුළත් ලේඛණය කටාන ස්ථානාධිපතිවරයාට පෙන්වීමෙන් පසු තමන් කටුවාපිටිය දේවස්ථානයට ඉල්ලා තිබූ පොලිස් ආරක්ෂාව ලබා නොදුන් බව ඔහු කොමිසම හමුවේ පිලිගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්