fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු මහා විහාරයේ ඓතිහාසික වටිනාකම රැකේ – ආරක්‍ෂාවට නාවික හමුදාවත් යෙදවේ

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 18:00

ඓතිහාසික වටිනාකම් රැසක් පවතින මුහුදු මහා විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා උප අනුකන්ඩයක් පිහිටුවීමට පියවර ගැනුණා.

ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙන්ම ආරක්ෂක ප්‍රධානින් මෙම ස්ථානයේ කළ නිරික්ෂණ චාරිකාවකින් අනතුරුවයි.

වසර දෙදහසක පමණ ඉතිහාසයක් පවතින මුහුදු මහා විහාරය ඉතිහාසයේ පුරා බෞද්ධයන්ගේ ප්‍රධාන සිද්ධස්ථානයක් බවට පත්ව තිබුණා. ඓතිහාසික වැදගත්කම් රැසක් පවතින මෙම විහාර භූමියේ පුරා විද්‍යාත්මක නටබුන් රැසක්ද පවතිනවා. ඒ අනුව ආගමික මෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත් වන මෙම විහාරස්ථානය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 72ක් ලෙස 1951 වසරේදී එවකට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයාව සිටි සෙනරත් පරණවිතා මහතා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශකයට පත් කෙරුණා. එය 1965 වසරේදී අක්කර 32ක් දක්වා අඩු කළ බවයි විහාරධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රතිස්ස ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ.

විවිධ පිරිස් මෙම විහාර භූමිය ආශ්‍රීතව වැලි ජාවාරමේ නිරතවන බවට පසුගිය කාලයේ සාක්ෂි සහිතව මාධ්‍ය මඟින් හෙළි කෙරුණා. එමෙන්ම ඇතැම් අය මෙම විහාර භූමියේ බලහත්කාරයෙන් නිවාස ඉදි කර පදිංචි වී සිටින බව ‍පෙන්වා දුන්නද පැවති රජයේ කිසිවෙකුත් මේ පිළිබඳ අවධානය යොමු කළේ නැහැ. එවකට සිටි සංස්කෘතික අමාත්‍යවරයා පවා මෙය නොසලකා හැරි බවටයි චෝදනා එල්ල වුණේ. නීතිය කාහටත් එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවට වත්මන් රජය ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිදු වෙමින් පවතින පුරාවිද්‍යා විනාශයන් වැලැක්විමට පියවර ගත්තා. ඒ අනුවයි මුහුදු මහා විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා උපඅනුකන්ඩයක් පිහිටුවිමට පියවර ගැනුණේ.

ආරක්ෂක ලේකම්වරයා මෙන්ම යුදහමුදාපතිවරයා , නාවික හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඇතුළු පිරිසක් මුහුදු මහා විහාර හා දීඝවාපිය යන පුරාවිද්‍යාත්මක ස්ථානවල නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම  පියවර ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්