ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතිද්දී ආරම්භ කළ කොළඹ , ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලේ තුන්වන දිනය අදයි. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ක්රියාකාරීත්වයද යථා තත්ත්වයට පත් කිරීම මීට සමගාමීව සිදු වනවා.
කොළඹ , ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරිනීතිය පැවතියද ආයතන ක්‍රියාකාරීත්වය හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පෙරේදා ආරම්භ කෙරුණේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුවයි.
කොළඹ ,ගම්පහ දිස්ත්‍රක්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඊයේ රාත්‍රී 8 ට පැනවූ ඇදිරි නීතිය අද පෙරවරු 05ට ඉවත් කෙරුණා. එම දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තෙක් දිනපතා රාත්‍රී 08 සිට අලුයම 05 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරිනීතිය පවතිද්දීම සාමාන්‍ය ජනජීවිතය හා ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කිරීමටයි පියවර ගැනුණා. රාජකාරි කටයුතු වෙනුවෙන් ගමන් ගන්නා පිරිස් වෙනුවෙන් බස් හා දුම්රිය සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි.
රජයේ හා පෞද්ගලික ආයතන ක්‍රියාකාරීත්වය යථාතත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම ආයතන මේ වනවිට තම රාජකාරි කටයුතු ආරම්භකර තිබෙනවා. කාර්යාලවල සේවා අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමටයි ආයතන ප්‍රධානීන් කටයුතු කර ඇත්තේ. එක් එක් ආයතනයට සේවයට වාර්තා කළ යුතු සේවක සේවිකාවන් පිළිබඳ ක්‍රමවේදයන්ද ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සකස් කර තිබෙනවා. සේවක සේවිකාවන් කැඳවීමට අදාළ දැනුම් දීමක් ආයතන ප්‍රධානීන් සිදු කළ යුතුයි.
අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයෙන ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරනු ලබන තොග සහ සිල්ලර වෙළදසැල් විවෘත කිරීමට අවසරය ලබාදී තිබෙනවා. ඖෂධ අලෙවිසැල් දුරකතන අලෙවිසැල් මෙන්ම රෙදිපිලි අලෙවිසැල් ද විවෘත කිරීමට ඉඩකඩ ලබාදී ඇති අතර කුඩා ආපනශාලා ,ආහාර ලබා දෙන කුඩා පෙට්ටිකඩ හා රෙස්ටූරන්ට් විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.
සංචාරක හෝටල් විවෘත කිරීමට අවසර හිමි වුවද එම හෝටල්වල රෙස්ටූරන්ට් විවෘත කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. කොන්ඩා කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර විවෘත කර පවත්වාගෙන යා හැක්කේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නියමිත සහතිකය ලබාගැනීමෙන් අනතුරුවයි. සතිපොල දිනපොල ආදී සමූහ වශයෙන් වෙළදාම සිදුවන ස්ථාන මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන සමූහ වෙළදපොල නැවත දැනුම් දෙනතුරු විවෘත කිරීමට ඉඩකඩ නොලැබෙන බවයි රජය නිවේදනය කර ඇත්තේ.
එමෙන්ම කාය වර්ධන මධ්‍යස්ථාන , සම්බාහන මධ්‍යස්ථාන සමාජශාලා , ඔට්ටුඇල්ලීමේ මධ්‍යස්ථාන ආදිය නැවත දැනුම් දෙන තෙක් තවදුරටත් වසා තැබෙනවා. ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීම සඳහා එක් නිවසකින් පැමිණය යුත්තේ එක් අයෙකු පමණයි. කෙසේ වුවද නිරෝධායනයට හා ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහතිකය ලැබෙන තෙක් ඉහත සදහන් අයුරින් ගමන් කිරීමේ හැකියාව නොමැති බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.