නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ඉඩම්වල අනවසර පදිංචිකරුවන්ට කොළඹ නගරයේ වෙනත් ස්ථානවලින් අංගසම්පූර්ණ නිවාස ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
නාගරික කෘෂි හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘති සදහා නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ ඉඩම් යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. එම ඉඩම්වල අනවසර පදිංචිකරුවන්ට වෙනත් ස්ථානවලින් අංගසම්පූර්ණ නිවාස ලබාදීමටයි නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත්තේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික කෘෂි හා පාරිසරික ව්‍යාපෘති මේ වන විටත් ආරම්භ කර අවසන්.
මාදිවෙල බටහිර කෘෂි ව්‍යාපෘතියට තෝරාගෙන ඇති ඉඩමෙහි අනවසර පවුලක් පදිංචිව සිටි නිවස වර්ෂාවෙන් හානියට පත් වුණා. එම පවුලට කඩිනමින් නිවසක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත් අතර එම ඉඩමෙහි අනවරසයෙන් පදිංචිව සිටි තවත් පවුල 09 කට කඩිනමින් නිවාස ලබාදීමට කටයුතු කෙරෙමින් පවතිනවා.
පාර්ලිමේන්තු සංකීර්ණය අවට වගා කළ හැකි කුඹුරු අක්කර 460 ක් නාගරික සංවර්ධන අධිකාරිය සතුව පවතිනවා. එහි නාගරික කෘෂි කර්මාන්තයේ පළමු අදියර ලෙස තලවතුගොඩ කිඹුලාවල වගාකටයුතු ආරම්භ කෙරුණේ 2013 වසරේයි. එහි දෙවන අදියර පසුගියදා ආරම්භ කෙරුණේ අක්කර 23 ක් ආවරණය වන පරිදියි.