fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍යාංශවලට වාහනත් , ඇමතිවරුන්ට අමතර ඉන්ධන දීමනාවකුත් ගැන පැතිරෙන ප්‍රචාර අසත්‍යයි

ITN News Editor
By ITN News Editor මැයි 8, 2020 18:58

අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් ලක්ෂ 3000 ක් වටිනා වාහන මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්තියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  නිවේදනය කරනවා.

එවැනි කරුණු ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී  නැති බවයි කැබිනට් ප්‍රකාශක  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ. අමාත්‍යවරුන්ට හා හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතර ඉන්ධන දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබාදී ඇති බවට පැතිරී යන ප්‍රචාරයද සම්පූර්ණයෙන් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් සිය පක්ෂය ,අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සඳහා නිල වාහන පාවිච්චි කිරීමේදී රජයට මුදලක් ගෙවීමේ අවශ්‍යතාව මැයෙන් 2015 වසරේ ජුලි මාසයේ 14  සහ 22 යන දිනවල ලබාදී ඇති අමාත්‍ය මණ්ඩල තීරණ පූර්වාදර්ශයට ගනිමින් පසුගිය මාර්තු මස 18 වනදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව අග්‍රාමාත්‍ය , කතානායක ,විපක්ෂනායක ,අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වෙත අනුයුක්ත කර ඇති නිල වාහන සහ නිල නිවාස සිය පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු හෝ මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් නිල වාහනයක් සදහා රුපියල් ලක්ෂයක් හා නිල නිවාසයක් සඳහා රුපියල් ලක්ෂයක් මාසිකව සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

එසේ වුවද මැතිවරණ දිනය කල්තැබීම නිසා මනාප අංක මෙතෙක් නිකුත් කර නොමැති බැවින් ඉහත තීරණය ක්‍රියාත්මක කළ යුතු දිනය පිලිබදව පසුගිය 06 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. එහිදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ මනාප අංක නිකුත් කිරීමෙන් පසුව පමණක් අදාළ අය කර ගැනීම් සිදු කළ යුතු  බවයි. එසේ වුවද හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් ඉහත පහසුකම භාවිත කරන්නේ නම් ඔවුන්ගෙන් එම මුදල මාර්තු මස 18 වනදා සිට අය කර ගැනීමට තීරණය කළ බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 8, 2020 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්