fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට උදේ 5.00ට අවදානම් කලාප හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2020 12:31

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරන අතර ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණෙන් ඇඳිරිනීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව දිස්ත්‍රික් කිහිපයකට හෙට උදෑසන 05.00 ට ඉවත් කෙරෙන ඇඳිරිනීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 08ටයි. අනිද්දා සිට සෑම දිනකම රාත්‍රී 08 සිට අලුයම 05 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය ක‍ළේ.

කොළඹ , ගම්පහ , කළුතර, පුත්තලම , මහනුවර, කෑගල්ල හා අම්පාර යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරිනීතියය හෙට පෙරවරු 5 ට ඉවත් කෙරෙනවා. නැවත එදිනම රාත්‍රී 8 ට එම දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය පැනවීම සිදුවනවා.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොටහේන , ග්‍රෑන්ඩ්පාස් , බම්බලපිටිය ,කෙසෙල්වත්ත , මරදාන , ගොතටුව, මුල්ලේරියාව , වැල්ලම්පිටිය , ගල්කිස්ස , දෙහිවල , කොහුවල යන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිනීතිය ඉවත් කිරීමක් සිදුවන්නේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජා ඇල , කොච්චිකඩේ , සීදූව යන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම , මාරවිල සහ වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශවල ද ඇඳිරිනීතිය ඉවත්කර නැහැ. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම , පයාගල , බේරුවල හා අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙම දිස්ත්‍රික්කවල ඉහත දැක්වූ පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරිනීතිය අප්‍රේල් විසිදෙවනදා පෙරවරු 5 ට ඉවත් කර රාත්‍රී 8 ට යළි ක්‍රියාත්මක කෙරෙනවා. මේ ආකාරයට සෑම දිනකම පෙරවරු 5 ට ඉවත් කර රාත්‍රී 8 ට යළි ඇඳිරිනීතිය පැනවෙනවා.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ හා අකුරණ , කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනවා. එම දිස්ත්‍රික්කවල සෙසු පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිනීතිය ඉවත් වන්නේ හෙට පෙරවරු 5 ටයි. එසේ ඉවත් කරන ඇඳිරිනීතිය රාත්‍රී 8 ට යළි පැනවෙනු ඇති. ඇඳිරිනීතිය පෙරවරු 5 ට ඉවත් කර රාත්‍රී 8 ට යළි පැනවීමේ ක්‍රමය අදාළ පොලිස් බල ප්‍රදේශවල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

ඇඳිරිනීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් අවදානම් කලාපයක් ලෙස හඳුනාගතහොත් එම ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරිනීතිය පැනවීමට ඉඩකඩ පවතී.  කිසියම් ප්‍රදේශයක් හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර ඇත්නම් කවරෙකුට හෝ ඊට ඇතුළුවීම මෙන්ම එයින් පිටවී යාම සම්පූර්ණයෙන්ම තහනම්.

ඇඳිරිනීතිය ඉවත් කරන පොලිස් බල ප්‍රදේශවල ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා ගමන් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණි. එමෙන්ම දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද රැකියා හා අත්‍යවශ්‍ය සේවා වලට පමණක් සීමාකර තිබෙනවා. පාසල් , විශ්වවිද්‍යාල , උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන මෙන්ම සිනමාහල් , නැවත දැනුම් දෙන තුරු වසාදමා තිබෙනවා.

ඇඳිරිනීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු , සංස්ථා , බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක පවතී. පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු දහයට විවෘත කරන ලෙස ද නියමකර තිබෙනවා. සියලු උත්සව , වන්දනා , විනෝද චාරිකා , සැණකෙළි , පෙරහැර , රැස්වීම් ආදිය පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තහනම්. ජනතාව ඒකරාශී වීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව අත්හිටුවන ලෙසට ද ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර කොරෝනා අවධානම තවමත් රට තුළ පවතින බැවින් රජය සහ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිලිපැදීම අනිවාර්ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඇඳිරිනීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2020 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්