කොරෝනා ව්‍යාප්තිය අනුව ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ , ගම්පහ , කළුතර, පුත්තලම , මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව බලාත්මකයි.
සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇදිරිනීතිය ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 6 ට තාවකාලිකව ඉවත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 6 ට ලිහිල් කිරීමට නියමිත එම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය එදින පස්වරු 4ට නැවත පැනවීමට නියමිතයි. එම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ලබන අගහරුවාදා පෙරවරු 6 ට ලිහිල්කොට පස්වරු 4 ට යළි පනවන බව මීට පෙර නිවේදනය කර තිබුණද පසුව එය සංශෝධනය කිරීමට පියවර ගැනුණා.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරිනීතිය පැනවීමට රජය කටයුතු කළා. අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළදී ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගතහැකිවන පරිදි අඛණ්ඩ සේවාවක් සැපයීමට විධිවිධාන යොදා තිබෙනවා.
කවර දිස්ත්‍රික්කයක වුවද කෘෂිකාර්මික කටයුතු, කුඩා තේවතු හා අපනයන නිෂ්පාදන සිදුකරන්නන්ට මෙන්ම ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට සිය කාර්යයන්හි බාධාවකින් තොරව නිරතවීමට අවසරය හිමිවනවා. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පොලිස් මාර්ග බාධක වැඩිකර පරික්ෂණ කටයුතුද දැඩි කිරීමටයි ඒ අනුව පියවර ගෙන තිබෙන්නේ. කවර හෝ දිස්ත්‍රික්කයක හුදෙකලා ප්‍රදේශ නම්කර ඇති ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙසම තවදුරටත් ක්‍රියාත්මක වනවා. කවරෙකුට හෝ එම ගම්මානවලට ඇතුළුවීම හෝ පිටවීම නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම්කර තිබෙනවා.
මේ අතර ඇඳිරිනීතිය කඩකරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනමේ මෙහෙයුම් ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගෙවී ගිය පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 1525 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 350 ක්. මේ අනුව මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 23500 ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 6500 ඉක්මවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.