ආර්ථික මධ්‍යස්ථාන මඟින් එළවළු හා පළතුරු මිලදීගැනීම මෙන්ම බෙදාහැරීම් වලදී විශාල පිරිසක් එම ස්ථානවලට එක්රැස්වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම මගහැරවීම සඳහා ක්‍රියාත්මක නව වැඩපිළිවෙළ තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා.
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සැළැස්මකට අනුවයි නව වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත්තේ.
නව වැඩපිළිවෙළ යටතේ දඹුල්ල , තඹුත්තේගම , නුවරඑළිය , කැප්පෙටිපොල , ඇඹිලිපිටිය යන විශේෂ මධ්‍යස්ථානවල කටයුතු දුරකතන ඇතුළු අනෙකුත් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ පමණක් ක්‍රියාත්මක වනවා. වෙළෙඳුන්ට මෙම මධ්‍යස්ථානය විවෘතකර නැහැ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීම් පිළිබඳ කමිටුව එම කොට්ඨාසයේ ලියාපදිංචි වෙළෙඳුන් සඳහා අවශ්‍ය කෙරෙන එළවළු හා පළතුරු වර්ගවල ප්‍රමාණයන් සෑම දිනකම පෙරවරු 10ට පෙර ආර්ථික මධ්‍යස්ථානවලට දැනුම් දෙනවා. එම ඉල්ලුම්කළ එළවළු හා පළතුරුවල මිල ගනන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා විශේෂ ආර්ථික මධ්‍යස්ථානය එකඟත්වයකට පැමිණිය යුතුයි. ඒ අනුව සිදුකරන ඇනවුම් සැපයීමට හැකියාව පවතින්නේ ද යන්න පිළිබඳ එදිනම සවස දෙකට පෙර ආර්ථික මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ කාර්යාලයෙන් දැනුම්දිය යුතුයි. මිලගනන් හා ඇනවුම් ප්‍රමාණය පිළිබඳ එකඟවීමෙන් අනතුරුව අදාළ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන මඟින් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත අවශ්‍ය එළවළු හා පළතුරු ප්‍රවාහනය කරදීම සිදුවනවා. ලැබුණු එළවළුවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ ආර්ථික මධ්‍යස්ථානවලට වාර්තා කිරීම ද වැඩපිළිවෙළට ඇතුළත්. එමෙන්ම දුරකතන , ෆැක්ස් හා විද්‍යුත් තැපෑල ඔස්සේ අදාළ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වල පිහිටුවා ඇති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකියි.
ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු යළි දැනුම්දෙන තුරු මේ අයුරින් ක්‍රියාත්මක බවයි විශේෂ ජනාධිපති කාර්යා සාධක බලකාය සඳහන් කරන්නේ.