fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙළ හා විෂබීජහරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2020 12:22

පවත්නා තත්ත්වය හමුවේ ජනතාව එක්රැස්වීම අවම කරමින් නිවසටම අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

එමෙන්ම ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙළ හා විෂබීජහරණ ක්‍රියාවලිය ද තවදුරටත් වේගවත් කර තිබෙනවා.

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාකසයේ පවුල් අටදහසකට වියළි ආහාර මලු ප්‍රදානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සිදුකෙරුණා. ග්‍රාමනිලධාරී වසම් 89 ක් පුරා මෙය ක්‍රියාත්මකයි.

රන්ගිරි දඹුල්ල සමූපකාර සමිතිය මඟින් සහන මල්ලක් ජනතාවට ලබාදීම මේ වනවිට ආරම්භකර තිබෙනවා. රුපියල් 1200 ක් පමණ වටිනා මෙම සහන මල්ල සමූපකාරයට අයත් ජංගම රථයකින් නිවෙස්වලටම ගොස් රුපියල් දහසක මුදලකට ලබාදීම විශේෂත්වයක්.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ද රක්නා ලංකා සමාගමේ නිලධාරීන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී ජනතාවට සහන මිලට ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා. ගම්පහ නැදුන්ගොල්ල රක්නා ලංකා කාර්යාල පරිශ්‍රයේදී මෙම කටයුතු සාර්ථකව සිදුකෙරෙනවා.

ATM යන්ත්‍ර මඟින් ජනතාවට මුදල් ලබාගැනීමේ පහසුව සළසමින් ජංගම ATM යන්ත්‍ර සේවාවක් ලංකා බැංකුව ක්‍රියාත්මක කරනවා. ගාල්ල ප්‍රදේශය පුරා මෙම ජංගම ATM යන්ත්‍ර හරහා මුදල් ලබාගැනීමේ අවස්ථාව සළසා දී තිබෙනවා.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා එළවලු පැළ නිවෙස්වලටම ගොස් ලබාදීමේ වැඩපිළිවෙළක් සමෘද්ධි නිලධාරීන් ආරම්භකර තිබෙනවා. සමෘද්ධි ලාභීන්ට රුපියල් දසදහසේ සහන ණය මුදල ලබාදෙන අවස්ථාවේදීම මෙම එළවළු පැළ ලබාදෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හමවේ ආහාරපාන සපයා ගැනීමට අපහසු අය වෙනුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ආධාර ලැබෙමින් පවතිනවා. මිහින්තලේ සියඹලාගස්වැව තෙළිගු ගම්මානයේ ජනතාවට අවශ්‍ය ආහාර පාර්සල් ලබාදීමට මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පියවර ගත්තා.

ගාල්ල අක්මීමන පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය අක්මීමන ප්‍රදේශයේ බේකර නිෂ්පාදකයින් සමඟ එක්ව ප්‍රදේශයේ ළමා හා ආබාධ සහිත වූවන් රැදී සිටින මධ්‍යස්ථානවලට පාන් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙම ජනතාව පත්ව ඇති අපහසුතා අවම කිරීම සදහායි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඖෂධ පැකට් බෙදාදීමට මිනුවන්ගොඩ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය පියවර ගත්තා. බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදුකෙරුණා. ආරක්ෂක අංශවලට මෙන්ම මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජනතාවට ඖෂධ පැකට් ලබාදුන්නා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2020 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්