මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේදී කොරෝනා රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
සම්පූර්ණයෙන් සුවය ලැබූ 17 දෙනෙකු රෝහල්වලින් පිටව ගියා.
කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 173 දෙනෙකු මේ වනවිට රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉන් වැඩිම පිරිසක් ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.
කොරෝනා රෝගීන් බවට තහවුරු කළ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. එම සංඛ්‍යාව 34 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකු , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු ලෙසයි වාර්තා වී ඇත්තේ.
බේරුවල පන්නිල ප්‍රදේශයෙන් ඊයේ හමුවූ කෝරෝනා රෝගියාගේ පවුලේ සාමාජිකයින් 4 දෙනෙකුට ද කොරෝනා වැළදී ඇති බව අද තහවුරු වුණා. ඒ ඊයේ හමුවූ ආසාදිතයාගේ බිරිද , කුඩු බිළිදා , බිරිදගේ මව සහ පියාට කොරෝනා වැළදී ඇති බව අද තහවුරුකරගත්තා. ඔවුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත අද යොමුකෙරුණා.
කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ කළුතර අටළුගම සහ මහනුවර අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබෙනවා. කවරෙකුට හෝ මෙම ගම්මානවලට ඇතුළුවීම හෝ පිටවීම තවදුරටත් තහනම් බවයි පොලීසිය අවධාරණය කරන්නේ. මහනුවර අකුරණ ප්‍රදේශයේදී හඳුනාගත් කොරෝනා රෝගියා නිකවටවන ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ බවට තොරතුරු ලැබීමත් සමඟ එම නිවස ඇතුළු නිවාස 7 ක පුද්ගලයන් 33 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා දඹුල්ල පොලීසිය එක්ව මෙම නිවාසවලට පැමිණ තොරතුරු විමසුව ද ඔවුන් තොරතුරු ලබා දුන්නේ නැති බවයි වාර්තා වන්නේ. අදාළ පුද්ගලයාගේ ඡායාරූප පෙන්වමින් ප්‍රශ්න කිරීම් සිදු කෙරුණා. පසුව අවට පදිංචිකරුවන් ප්‍රකාශකර ඇත්තේ එම පුද්ගලයා අවමංගල උත්සවයට සහභාගිවූ බවයි.
දික්ඔය ප්‍රදේශයේ පවුල් 200 ක 800 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. දික්ඔය දරවල ප්‍රදේශයේ දේවමෙහෙයකට සහභාගි වූ 65 දෙනෙකු අතර යාපනය දේවමෙහෙයට සහභාගිවූවන් සිටි බවට හෙළිවූ තොරතුරු මත එම පවුල් 65 සහ කොළඹ ඇතුළු අවදානම් කලාපවල සිට හැටන් ප්‍රදේශයට පැමිණ සිටි පවුල්වල සාමාජිකයනුයි මෙලෙස නිරෝධායනයට ලක්කෙරුණේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව පෞද්ගලික සනීපාරක්ෂාව සම්බන්ධව නිරන්තරයෙන් අවදානය යොමුකිරීම වැදගත් බවයි. මුඛ ආවරණ නිවැරදි ලෙස භාවිත කිරීම තුළින් දැනට ශ්‍රී ලංකාව සිටින මට්ටමෙන් ඉහළ මට්ටමක් දක්වා රෝග ව්‍යාප්තවීම පාලනය කරගත හැකි බවට විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳ සමාලෝචනය සඳහා තාක්ෂණික කමිටුවක් කැඳවිය යුතු බවට ද දැනුම්දී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.