තැපැල් කාර්යාල මඟින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම ලාභීන්ට නිවෙස්වලට හෝ ග්‍රාමසේවක වසම තුළට විශ්‍රාම වැටුප ගෙනවිත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා.
බැංකු ගිණුම් තුළින් විශ්‍රාම වැටුප ලබාගන්නා විශ්‍රාමිකයන්ට අදාළ බැංකු ශාඛා වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමට අත්‍යවශ්‍යසේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ අවස්ථාවේ විශ්‍රාම වැටුප ගෙවීම සම්බන්ධයෙන් ගත් තීරණ පිළිබඳ එම බලකායේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානී මහාචාර්ය චරිත හේරත් මහතා පවසන්නේ අප්‍රේල් මස 02 සහ 03 දිනයන් හිදී විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත බවයි. මෙම දිනයන්හිදී එය ලබාගැනීමට නොහැකි අයට අප්‍රේල් 06 වනදා එම මුදල් ලබාගත හැකි අතර එදිනට ගෙවීම් අවසන් කෙරෙනු ඇති.
බැංකු ගිණුම් මඟින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා අයගේ මුදල් අදාල බැංකු ගිණුම් වෙත අප්‍රේල් 02 සහ 03 යන්හිදී බැර කෙරෙනවා. එම බැංකු වෙත යාමේදී ඇදිරි නීතිය හේතුවෙන් ඇතිවන ගමනා ගමන අපහසුතා මගහැරවීමේ ක්‍රමවේදයක්ද සකසා තිබෙනවා. ඒ අනුව මුදල් ලබාගැනීමේ අවශ්‍යතාව ඇති විශ්‍රාමිකයන් තම ග්‍රාම නිලධාරී මඟින් ඒ බව දැනුම් දිය යුතුයි. විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන් ආසන්නම බැංකුව වෙත අප්‍රේල් 02 සහ 03 යන දිනයන්හි රැගෙන යාමත් යලිත් සිය නිවස වෙත ගෙන යාමටද රජය කටයුතු කරනවා. ත්‍රිවිද හමුදාව සහ පොලීසිය අවශ්‍ය ගමන් පහසුකම් සලසා දෙන අතර අදාළ ග්‍රාමනිලධාරීවරයාගේ සහාය ඒ සඳහා ලබා ගැනෙනවා. ඒ අනුව නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැබීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකු එකගවී ඇති බවද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර කොරෝනා අවදානම මත මහජන ඒකරාශීවීම් අවම වීම් සඳහා වැඩිහිටි හා ආබාධිත ගෙවීම් පසුගිය මාසයේ ලබා දුන් ආකාරයටම ග්‍රාම සේවා නිලධාරීන් නිවෙස් වෙතම ගොස් ලබාදීමට නියමිතයි.