fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝමගම රෝහලේ කොරෝනා රෝගීන්ට උදව් කරන්න නව රොබෝවරයෙක් (VIDEO)

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 18:56

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කිරීම සිදු වුණා.

මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි.

මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර එහි මුල් ආකෘතිය මේවන විට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී. මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායම ද ඕනෑම ගැටළුවක් ඇති වුවහොත් එය අවබෝධ කර ගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටී.

කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබා දීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

කොළඹ සෞඛ්‍ය සේවා කලාප අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මෙම මුල් ආකෘතියේ ක්‍රියාකාරිත්වය බෙහෙවින් ප්‍රශංසාවට ලක් කළේ මෙසේයි.

“දේශීය සමාගමක් විසින් වෛද්‍ය සේවා සහය සඳහා රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීම සැබවින් ම විශිෂ්ටයි. මෙවැනි වසංගත තත්ත්වයකට එරෙහිව සටන් කිරීමේදී තාක්ෂණික වැඩිදියුණු කිරීම් ඉතාම වැදගත්. සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍යය අවදානමේ හෙළීමෙන් තොරව රෝගීන් හට සේවය සැලසීමට හැකි වීම COVID-19 වෛරසයට එරෙහි සටනේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි,” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළා.

මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද යුක්තයි. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබා දී ඇත.

තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි. මෙමගින්, රෝගීන් පරික්ෂා කිරීම ස්වයංක්‍රියකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබා දීමට ද සෞඛ්‍ය අංශයේ සේවකයින් හට අවස්ථාව උදා වේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්