මේ වනවිට රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 199 ක් පුරා පැතිරයන නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවා තිබෙනවා.
මරණ සංඛ්‍යාව 28,240ක් දක්වා ඉහළ යද්දී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 137,328 ක් ලෙසයි වාර්තා වන්නේ.
ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 104,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 1701 ක්. ඒ අනුව කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ ප්‍රථම රට වන්නේ ඇමෙරිකාවයි. මේ අතර ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ ඩොලර් ට්‍රිලියන 2.2 ක කොරෝනා වෛරස් ආර්ථික සහන පනත් කෙටුම්පත ඇමෙරිකා කොංග්රස් මණ්ඩලය මගින් ඊයේ අනුමත කරනු ලැබුවා. කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පීඩාවට ලක්ව ඇති ජනතාව සහ ව්‍යාපාර නගාසිටුවීමට ඉදිරිපත් කළ එම මුදල් කෙටුම්පත ඇමෙරිකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය කෙටුම්පත වනවා.
මේ අතර වෛරස් පරික්ෂණ සිදුකර මිනිත්තු 5 ක් වැනි කෙටි කාලයකදී එහි ප්‍රතිඵල ලබා දිය හැකි අතේ ගෙන යා හැකි කුඩා උපකරණයක් නිපදවිමට ඇමෙරිකාවේ ඇබට් රසායනාගාර වෙත අවසර ලබා දීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අනුව අප්‍රේල් 1 වනදා වන විට සෞඛ්‍ය සේවා සපයන්නන් වෙත එම උපකරණ ලබා දීමට කටයුතු කෙරෙනු ඇතැයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරනවා.
ඉතාලියෙන් ඊයේ (27) දිනය තුළ පමණක් කොරෝනා මරණ 919 ක් වාර්තා වී ඇති අතර එය ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. ඒ අනුව ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 9,134 දක්වා ඉහළ යනවා. එරට මුළු ආසාදිත සංඛ්‍යාව 86,498 ක්. වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට ජන සංසරණය වැළැක්වීමට මීට සති පහකට පෙර පියවර ගත් ඉතාලියේ මරණ සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යන්නේ එරට ජනතාව කම්පනයට පත්කරමින්. විශේෂයෙන් උතුරුදිග ලොම්බාඩි කලාපයේ ගම්මානවල ජනගහනය ශීඝ්‍ර අඩුවීමට ද මෙම තත්ත්වය බලපා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
චීනයේ වූහාන් නගරය මාස 2 කට පමණ පසු අර්ධ වශයෙන් විවෘත කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවෙන් ආසාදිතයන් තුන්දහස් හයසිය තිස්පහක් වාර්තා වන අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 14 ක්. එරට ඉගෙනුම ලබන විදේශයන්ගෙන් පැමිණි සිසුන් මේ වන විට බරපතල අර්බුද රැසකට මුහුණපා සිටිනවා. එම සිසුන් වෙත වියළි ආහාර ලබා දීමට පරිත්‍යාගශීලීන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
යුරෝපීය රටවලින් ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 5,138 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 15,000 කට ආසන්න වී ඇති අතර එහි මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ දී කැපී පෙනෙන ලෙස 181 කින් ඉහළ ගියේ මුළු මරණ සංඛ්‍යාව 759 දක්වා ඉහළ නංවමින්.
වෛරසය පැතිර යාම අවම කිරීම සදහා සතියක වැඩ නොකරන සතියක් ප්‍රකාශ කිරීමට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා.