fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ජනගහනයෙන් තුනෙන්  එකකට කොරෝනාවෙන් බලපෑම්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 11:42

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් වසා දැමීම සහ කටයුතු සීමා කිරීම හේතුවෙන් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක පිරිසකට බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ වන විට බිලියන 7.3ක පිරිසකට විවිධ සීමාවන් හේතුවෙන් නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා. රටවල් 198ක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිතයින් හාරලක්ෂ හැත්තඑක්දහස් හාරසිය දාහතක් වාර්තා වනවන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ දාහතරදහස් හයසිය හතලිස් දෙකක්. මියගිය සංඛ්‍යාව විසි එක්දහස් දෙසිය අනූපහක් ලෙස වාර්තා වනවා. නව කොරෝනා වෛරසය පැතිරිමේ තිඹිරිගෙය වන චීනය දෙවන දිනයටත් එරටින් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.  කෙසේ නමුත් චීනය වෙත විදේශයෙන් පැමිණි පිරිස් හේතුවෙන් මේ වන විට නව අසාදිතයින් 67ක් ඊයේ දිනයේ වාර්තා වු අතර මරණ 6ක් ද වාර්තා වුණා.

ඉතාලියේ ඊයේ දිනය තුළ මරණ 683 ක් වාර්තා වීමත් සමග මුළු මරණ සංඛ්‍යාව මේ වන විට හත්දහස් පන්සිය තුනක් වනවා. ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑපන්දහසට ආසන්න වී තිබෙනවා. උතුරු ඉතාලියේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර එම තත්ත්වය දකුණු ඉතාලියට ව්‍යාප්ත වීම වැළැක්වීමට එරට සෞඛ්‍ය බලධාරීන් දැඩි පරිශ්‍රමයක නිරතවනවා. ගතවූ පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් මරණ 656 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ස්පාඤ්ඤයේ මේ වන විට වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව තුන්දහස් හාරසිය හැට හතක් වන අතර මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව හතලිස් නව දහස් පන්සිය පහළොවක්.

ඉතාලියේ ඊයේ දිනයේ දී වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් ගෙවුණු පැය 24 තුළ වාර්තා වුනා. ස්පාඤ්ඤයෙන් වාර්තාවුණු මරණ සංඛ්‍යාව  චීනයෙන් වාර්තා වු මරණ සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මෙය පස් ගුණයකින් ඉහළ යාමක් ලෙස වාර්තා වනවා. ස්පාඤ්ඤයේ උප අගමැතිවරයා ද වෛරසයට ගොදුරු වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

ප්‍රංශයේ ගෙවුනු පැය 24 තුළ මරණ 231ක් වාර්තා වන අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 25600ක්. ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර තෙවන ස්ථානයට පත්ව සිටින ඇමෙරිකාවේ ගතවූ පැය 24තුළ නව ආසාදිතයින් 10796 වාර්තා වීමත් සමග එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 65000 ඉක්මවා තිබෙනවා. වෛරසය හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයට වැඩිම බලපෑමක් එල්ලවී ඇති අතර එහි සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් 300කට ආසන්න පිරිසක් ආසාදනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලබන අප්‍රේල් 22 වනදා රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පිලිබද ඡන්ද විමසීම වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දින නියමයක් නොමැතිව කල්දමන බවට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජාතිය අමතා ප්‍රකාශ කර තිබෙනවා. මෙම සංශෝධන ඉදිරිපත් කර ඇත්තේ වසර 2000 රුසියානු ජනපති ධුරයේ කටයුතු කරන පුටින් හට වසර 2036 දක්වා බලයේ රැදී සිටීමට අවස්ථාව සලසමින්.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්