fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට හැර අනෙක් පළාත්වල ඇදිරිනීතිය හෙට උදේ 6ට අවසන් – දවල් 12ට යළි පැනවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 19:26

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සදහා පනවා ඇති ඇදිරිනීතිය මේ වන විට මුලු දිවයිනටම බලපැවැත්වෙනවා.

බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය යළි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි රජය අවධාරණය කරන්නේ. ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් දෙදහස් හයසිය අසූදෙකකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. වාහන 706 ක් ද පොලිස් භාරයට ගැනුණා.

කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස කොළඹ,  ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් ඊයේ (24) නම් කෙරුණා. ඒ අනුව බස්නාහිර පළාතට පනවා ඇති ඇදිරිනීතිය යළි දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි. පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික් පහට පනවා ඇති ඇදිරිනීතිය ලබන සිකුරාදා (27) උදෑසන හයට ඉවත් කෙරෙන අතර එය යළි 12 ට පැනවෙනවා.

සෙසු දිස්ත්‍රික්වලට පනවා ඇති ඇදිරිනීතිය හෙට (26) උදෑසන හයට ඉවත් කෙරෙනවා. එදිනම දහවල් 12 ට එම දිස්ත්‍රික්වලට ඇදිරිනීතිය පැනවීමට නියමිතයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය,  ආරක්‍ෂක අංශ හා මාධ්‍ය ආයතන සේවකයන්,  අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් ඇතුලු අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත පුද්ගලයන්ට ඇඳිරිනීතිය කාලය තුළ ගැටලුවකින් තොරව මාර්ගවල ගමනාගමනයට අවසර ලබා දීමට පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇදිරිනීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන්. එක්රැස්ව මත්පැන් පානය කිරීම,  වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම,  බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම,  වෙළෙදාම් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් ද බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා. විදේශීය සංචාරකයින් රැගෙන යාම ද තහනම් බවයි පොලීසිය පවසන්නේ. ඇදිරිනීති කාලය තුළ ඔසුසල් ද විවෘතව තැබෙනවා. ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් කටයුතු සදහා අවසර හිමිවන අතර සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ද අවසර ලබාදී තිබෙනවා.

මෙම ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය නතර කිරීම සදහායි. මේ වනවිට රටේ පවතින තත්ත්වය අවබෝධකර ගනිමින් නීතිරීති ක්‍රියාත්මක වන තෙක් බලා නොසිට මෙම වැඩපිළිවෙළ සඳහා සහාය දිම සියලු දෙනාගේ යුතුකමක් වනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 19:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo