ඇඳිරිනීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරනවා.
ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඊයේ (20) සවස 6 ට පැන වූ ඇඳිරිනීතිය මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මකයි. ඇඳිරිනීති කාල සීමාව තුළ නිවෙස් තුළ රැඳී සිටිමින් නිරෝධායන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇඳිරිනීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානය දිවයිනේ සියලු පොලිස්ථාන වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජංගම මුර සංචාර හා මාර්ග බාධක ද ක්‍රියාත්මකයි. ගම්පහ ප්‍රදේශයේදී ඇදිරිනීතිය කඩ කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
බණ්ඩාරවෙල නගරයේදී මත්පැන් පානය කර ක්‍රීඩාංගනයක නිකරුණේ ගැවසෙමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ හපුතලේ නගරයේදී ආපන ශාලාවක් විවෘත කර පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. තංගල්ල ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකු ද කටුනායක ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු හා කුරුණෑගලදී පුද්ගලයන් 5 දෙනෙකු ද ඇඳිරිනීතිය කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් එම ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි පොලීසිය පවසන්නේ. ඇඳිරිනීති කාලය තුළ දිවයිනම ආවරණය වන පරිදි රාජකාරි කටයුතු සිදු කිරීම සඳහා හතළිස්පන්දහසකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කළ නිලධාරීන්ට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුව ද එම කටයුතුවලට බාධාවක් නොමැති බව ද පොලීසිය අවධාරණය කරනවා. අධිවේගී මාර්ගවල ද ඇඳිරිනීති බලපත් ලබාගෙන ඇති පුද්ගලයන්ට හා අත්‍යවශ්‍ය සේවා සඳහා වූ රථ වාහනවලට ගමන් කිරීමට පහසුකම් පවතිනවා.
මේ අතර ඇඳිරිනීතිය මධ්‍යයේ මැණික් ගැරීමේ නිරතව සිටි සැකකරුවන් 7 දෙනෙකු හැටන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසනවා. තේ වත්තක නිවාස පේළියක් පිටුපස මැණික් ගැරීම සිදුකර ඇත්තේ අනවසරයෙන් විදුලිය ද එම ස්ථානයට ලබා ගනිමින් බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.
ඇදිරිනීති අවස්ථාවේ ධාවනය කෙරෙමින් තිබූ ත්‍රී රෝද රථයක් නතර කළ අම්පාර උහන පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ත්‍රි රෝද රථයේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇදිරිනීතිය නොතකා ධාවනය කළ යතුරුපැදියක් වේයන්ගොඩ, දංවිලාන ප්‍රදේශයේ දී ගිලන් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ 21 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා. තවත් අයෙකු සුළු තුවාල ලැබුවා.