ලොව පුරා එක්ලක්ෂ අසූ එක්දහස් පන්සිය දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී තිබෙනවා. පුද්ගලයන් හත්දහස් එකසියයක් ජීවිතක්ෂයට පත් වුණා. කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා අන්ධ පුද්ගලයින් ගින්දර සමග කටයුතු කරන ආකාරය මෙන් නොව ඉතා ශක්තිමත්ව ඊට මුහුණ දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. මේ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත සියලු පුද්ගලයින් පරීක්ෂාවට ලක් කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් ජීනීවා නුවර දෛනිකව පවත්වන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
කොරෝනා රෝගීන් 114 දෙනෙකු මේ වන විට ඉන්දියාවෙන් හමු වී තිබෙනවා. ඓතිහාසික ටජ් මහලද මේ මස 31වනදා දක්වා සංචාරකයින්ට තහනම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. යුරෝපයෙන්, බ්‍රිතාන්‍යයෙන් හා තුර්කියෙන් සිය රටට සංචාරකයින් පැමිණීමද ඉන්දියාව තහනම් කළා. උද්ගතව ඇති තත්ත්වය හමුවේ යුරෝපා කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස පහත බැස තිබෙනවා. ජර්මනිය හා ප්‍රංශය සිය දේශසීමා තහනම් කළා. ඇමෙරිකාවේ ආසාදිතයින් ගණන හාරදහස් හාරසියයයි. පුද්ගලයන් අසුහය දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් ඒකරාශීවීම තහනම් කරමින් නියෝග නිකුත් කෙරුණා. ඇමෙරිකාවේ ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය උපකරණ නොමැති බවටද වාර්තා පළ වනවා.
මැලේසියාව සිය දේශසීමා වසා දැමීමත් සමග සිංගප්පූරුවේ වෙළෙඳසැල්වල භාණ්ඩ හිගයක්ද මතුව තිබෙනවා. එමෙන්ම ලොව සෑම රටකම පාහේ වෙළෙඳසැල්වල දීර්ඝ පෝලිම් දැකගත හැකියි. දකුණු කොරියාවේ මේ වන විට ආසාදිතයින් අටදහස් තුන්සිය විසි දෙනෙකු සොයා ගැනුණා. ඊයේ දිනයේ පමණක් ආසාදිතයින් 84 දෙනෙකු සොයා ගැනුණා. ඉතාලියේ නව ආසාදිතයින් 197 දෙනෙකු පිළිබඳ වාර්තා වි තිබෙනවා. පැය 24 ක් තුළ එරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 49 ක්. මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සාර්ථකව වෛද්‍ය පර්යේෂණ කටයුතු චීනය ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක ක්‍රියාත්මකයි. කොලොම්බියාව හා මැලේසියාව සිය දේශසීමා මේ වන විට වසා දමා තිබෙනවා. ඇමෙරිකාවේ සුපිරි නළුවෙකු වන ටොම් හෑන්ස් සහ ඔහුගේ බිරිඳ වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෛරසය පැතිරයාම ආරම්භ වූ චීනයේ ඇතැම් ප්‍රදේශවල පාසල් මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා.