හිටපු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙකු ගොනුකළ රීට් පෙත්සම්වලට අදාළ වැඩිදුර කරුණු සළකා බැලීම අභියාචනාධිකරණය හෙටට කල්තැබුවා.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා ඇතුළු හතර දෙනෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම අද දිනයේද සිදුවුණා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙත්සම්වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා.
ඔහු ඉල්ලා සිටියේ මුල් අවස්ථාවේම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙසයි. අධිකරණය මගහරිමින් සිටින රවී කරුණානායක මහතාට අභියාචනාධිකරණයෙන් සහන ඉල්ලා සිටීමට නීතිමය පදනමක් නැති බව ඔහු අවධාරණය කළා. කරුණානායක මහතාට එරෙහි චෝදනා වෙළපොල ස්ථායීතාවට බලපෑම් කිරීම ආදී බරපතල චෝදනායි. ඒ අනුව වරෙන්තු ලබාගැනීමෙන් තොරව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළේ. වරෙන්තු නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පක්ෂපාතීව කටයුතු කර ඇති බවට පෙත්සමෙන් කර ඇති චෝදනා ද කරුණු සහිතව ප්‍රතික්ෂේප කෙරුණා. රවී කරුණානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තපා මහතා පෙනී සිටියා.