fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා වෛරසයට මුහුණ දිය හැකි ඖෂධයක් ආයුර්වේදයෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 19:45

කොරෝනා වෛරසයට මුහුණ දිය හැකි ඖෂධයක් ආයුර්වේදය තුළ පවතින බව ආයුර්වේද වෛද්‍ය සුධර්මා කොඩිතුවක්කු මහත්මිය පවසනවා.

ආයුර්වේද වෛද්‍ය සුධර්මා කොඩිතුවක්කු:

“ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසඳය විසින් ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් වන වන අපගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මම ඇතුළු වෛද්‍යවරු කිහිපදෙනෙක් මේ සඳහා ඖෂධ කිහිපයක් සොයාගෙන තිබෙනවා. වෙනිවැල්ගැට, රසකිඳ, වදකහ යන සංයෝගය… මේක කසායක් විදිහට හෝ චූරණයක් විදිහට නියමිත මාත්‍රාවෙන් දින දාහතරක කාලයක් තුළ ගැනීම තුළ අපේ සහජ ප්‍රතිශක්තිකරණය තවදුරටත් වැඩි කිරීම තුළින් කොරෝනා වෛරසයට එරෙහිව ශරීරය හදාගන්න පුළුවන්…”
වීඩියෝව පහතින්….

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මේ වන විට කොළොන්නාව අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර විධිමත් පරිදි සිදුකෙරෙමින් පවතින අතර ජනතාව අනිසි බියක් ඇති නොකර ගත යුතු බවයි රජය අවධාරණය කරන්නේ. අවශ්‍ය වන්නේ මෙය වගකිව යුතු කාර්යයක් සේ සලකා රජයේ වැඩපිළිවෙළට සහාය වීමයි.

මීට දින දෙකකට පෙර උණ රෝගය වැළදීමෙන් අයි ඩී එච් රෝහලට ඇතුළත් වූ මෙම රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. ඉතාලි ජාතිකයින් පිරිසක් සමග සිටි මෙම පුද්ගලයා පනස් දෙහැවිරිදි වියේ පසුවන සංචාරක මගපෙන්වන්නෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද තොරතුරු එක්රැස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. මෙම පුද්ගලයා අදාළ සංචාරකයන් සමග දිවයින පුරා ගමන් කර තිබෙනවා. ඔහුගේ පවුලේ උදවිය මෙන්ම ඔහු ගමන් කළ ස්ථානවල සිටි පුද්ගලයන් මෙන්ම ඔහු මග පෙන්වූ ඉතාලි ජාතිකයන් පිළිබඳව ද මේ වන විට විමර්ශන සිදු කෙරෙනවා. උද්ගතව ඇති තත්ත්වය හමුවේ චාරිකාවල නිරත වීම අවම කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දකුණූ කොරියාව, ඉතාලිය හා ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා. රටම මෙම වසංගතයට බිලිවීම වළක්වමින් අවදානමට පෙර සූදානම් වීමක් ලෙසයි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. සෞඛ්‍ය අංශ සමග එක්වෙමින් යුද හමුදාවේ පූර්ණ කැපවිමෙන් එම කටයුතු සිදු කෙරෙනවා.

 

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා:

” එන කට්ටියට එන්න එපැයි කිව්වෙ නෑනෙ. වැහුවෙ නෑනෙ. සමහර රටවල් වගේ රටින් පිට වෙන්න දෙන්නේ නෑ… රටට ඇතුල් වෙන්න දෙන්නේ නෑ.. කියන තත්ත්වයක් ඇති කළේ නෑ.. මේක ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තටම අපි පැය 48ක් ඇතුළත තමයි ඔය කියන මධ්‍යස්ථාන දෙකට යන්නේ…  අඩුපාඩුකම් තිබ්බෙ නැහැයි කියන්න බැහැ…  අපේම රටේ සමහර අයවලුන් කැමති උන්නැහැ මේ 150 යන අතරේ අඩුම ගණනේ ටොයිලට් එකක් වක් දෙන්න. කිසි කෙනෙක් කැමති වුණේ නැහැ ටොයිලට් යන්න වත් බස් රථය නවත්වනවට. රටින් ආව අයවත් ඒක දන්නේ නැහැ.. මේ නිරෝධායන ස්ථානවල aircondition නම් නැහැ.. වයිෆයි ලබාදීලා තියෙන්නේ….  කෑම ගැන නම් ප්‍රශ්නයක් වෙන්න එපා..  කෑම ගැන බලාගන්න අපිට හොඳට පුළුවන්… කවුරුහරි පුද්ගලයෙක් කියනවනං මේ කෑම නෙමේ තව වර්ගයේ කෑම ඕනේ කියලා මං ඒකත් යුද හමුදාවෙන් ලබාදෙන්න කටයුතු කරන්නම්…”

 

සියලු දෙනාගේ ජීවිත රැක ගැනීම සඳහා මෙවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන විට ඇතැමුන් එය සරල ලෙස සැලකීම කණගාටුවට කරුණක්. නිරෝධායන වැඩපිළිවෙළ සඳහා ඇතැමුන් කන්දකාඩු හා මඩකලපුව මධ්‍යස්ථාන වෙත ගුවන්තොටුපොළේ සිට රැගෙන යන අවස්ථාවේ තමන් ගමන් කළ බස් රථයෙන් බාහිර සමාජයට විවෘත වෙමින් ක්‍රියා කළ ආකාරය දැකගත හැකි වුණා. එසේම ඇතැමුන්ට අතරමගදී වැසිකිළි කැසිකිළි යාම සඳහා ඉඩ ලබා දුන් විට විදේශයන් සිට පැමිණි ඇතැමුන් ක්‍රියා කළ ආකාරය ද බොහෝ දෙනාගේ පිළිකුලට ලක්ව තිබෙනවා.

තම ජීවිත අවදානම ද නොතකා මෙම පිරිසට සැලකූ යුද හමුදාව හා සෞඛ්‍ය අංශවලට මෙවැනි චෝදනා එල්ල කිරීම සාධාරණ ද යන්න යළි සිතා බැලිය යුතුයි.

මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි විදේශයන් හි සිට මෙරටට පැමිණි පිරිසගෙන් 10 දෙනෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව ඔවුන් මහනුවර ශික්‍ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර අනතුරුව නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව අප වාර්තාකරු පවසනවා. මැදපෙරදිග ඇතුලු වෛරසය ප්‍රබල ලෙස පවතින රටවලට යාම තාවකාලිකව කල් තබන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා ආයතනවලින් ඉල්ලා සිටිනවා. ඇතැම් රටවල් කොරෝනා වෛරසය පවතින රටවල සිට ඔවුන්ගේ මව් රටවලට පැමිණීම ද අවහිර කර ඇති පරිසරයක ශ්‍රී ලංකා රජය හා අදාළ අංශ පවත්නා තත්ත්වය හමුවේ ක්‍රියා කරන ආකාරය ජාත්‍යන්තරයේ පවා ප්‍රසාදයට ලක්කර තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 19:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo