ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 6 යි දශම පහයි බින්දුව සහ සියයට 7 යි දශම පහයි බින්දුවක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව අඛණ්ඩව පවත්වාගෙන යාමට ද තීරණය කර ඇති බවයි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේදී අද පැවති මාධ්‍ය හමුවේදි අවධාරණය කෙරුණේ.
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්: ප්‍රතිපත්ති පොළී අනුපාතිකය දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ , මූල්‍ය වෙළෙඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්රවණතාවන් මනාව සැළකිල්ලට ගනිමිනුයි මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන්නේ. මෙය උද්ධමනය සියයට 4 ත් 6 ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමග අනුකූළවන අතර මධ්‍යකාලීනව ආර්ථිකයට සිය ඉලක්කගත වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වනු ඇතැයි මම බලාපොරොත්තුවෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ගෝලිය ආර්ථික වර්ධනයේ ඇති විය හැකි අස්ථාවරයන් හමුවේ බොහෝ ආර්ථිකයන් වඩාත් ලිහිල් ප්‍රතිපත්ති සඳහා යොමුවෙමින් පවතිනවා.
මෙහිදී අදහස් දැක්වූ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී නන්දලාල් මහතා ප්‍රකාශ කළේ මහ බැංකු වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නිසි පියවර ගැනීමට කටයුතු කළ බවයි.