fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ තීරණයට රටවල් රැසක සහාය ලැබුණා – ඇමති දිනේෂ් හෙළි කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 18:46

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගි වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඊයේ මුණ ගැසුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රාහකත්වය යටතේ ඉදිරිපත් කළ යෝජනාවලින් ඉවත් වීමේ පදනම පැහැදිලි කළා. එක්සත් ජාතීන්ගේ යෝජනා සඳහා වන සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුව ද ශ්‍රී ලංකාව අඛණ්ඩවම වගවීම හා මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා කැප වී සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කළා. තමන්ට පෙර කටයුතු කළ විදේශ අමාත්‍යවරයා ද 40,1 යෝජනාවේ ඇතැම් කරුණු සම්පූර්ණ කිරීමට නොහැකි බව පසුගිය වසරේදී පෙන්වා දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දේශීය කොමිෂන් සභා පත් කිරීම,තිරසර සංවර්ධන ඉලක්ක අත්කර ගැනීම සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම ඇතුලු විවිධ වැඩසටහන් ඔස්සේ රට තුළ සාමය හා සංහිඳියාව ස්ථාපනය කිරීමට වත්මන් රජය කැප වී සිටින බව ද ඒ මහතා කියාසිටියා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම එහි නියෝජිතායතනවල සහයෝගය අපේක්‍ෂා කර සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ වන විට පාර්ලිමේන්තු පනත් මගින් සම්මත කර ක්‍රියාත්මක වන අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම, හානි පූරණය පිළිබඳ කාර්යාලය ඇතුලු ආයතන අඛණ්ඩව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා පැවසුවා. මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සැසියට සහභාගි වීම සම්බන්ධයෙන් මහකොමසාරිස් බැචලේ මහත්මිය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සිය ස්තූතිය පළ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් නියෝජිතායතන සමග අඛණ්ඩව කටයුතු කරන බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඇය සිය ප්‍රශංසාව පළ කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිය පසුගියදා ඇමතූ අමාත්‍යවරයා 30,1 සහ 40,1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම පිළිබඳ කරුණු පැහැදිලි කළා. දිනේෂ් ගුණවර්ධන මහතා සංචාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධානීන්,ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබද සංවිධානයේ ප්‍රධානීන් මුණ ගැසුණා. රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ඇතුලු ඉහළ පෙළේ  දූත මණ්ඩලයක් ජිනීවා මානව හිමිකම් සැසියට එක්වුණා. කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාමය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්