අධික උණුසුමට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක්
Related Articles
අද දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මඟින් අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් වලක්වා ගත හැකි බවයි.
වියළි කාලගුණයක් පැවතියද සබරගමුව පළාතේත් ගාල්ල , මාතර , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට , මොනරාගල හා මන්නාරම දිස්ත්‍රික්කවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා රෝග හා මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසන්නේ අධික උෂ්ණත්වයෙන් මිනිස් සිරුරට සිදුවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳ ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි. වයස අවුරුදු 4 ට අඩු දරුවන් සහ 65ට වැඩි වූවන් තරබාරු පුද්ගලයින් , අධික ලෙස කය වෙහෙසන අය සහ රෝගී පුද්ගලයින් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතු බව ඔහු පවසනවා. වෙනදාට වඩා වැඩිපුර ජලය පානය කිරීම ද අත්‍යවශ්‍ය වනවා. උණුසුම් ආහාර හෝ දියර , විශේෂයෙන් උණු තේ ගැනීම පාලනය කළ යුතුයි. අධික රස්නයට හෝ හිරු රශ්මියට නිරාවරණය නොවිය යුතු බවද අවධාරණය කෙරෙනවා. ළදරුවන්ට සැහැල්ලු ඇදුම් අන්දවා සිසිල් ස්ථානවල තබා නිතර දියරවර්ග ලබා දීම අත්‍යවශ්‍ය වනවා.
ඔවුන්ට උණුසුම් ආහාර හෝ දියර ලබා නොදිය යුතු බවයි අවධාරණය කෙරෙන්නේ. කය වෙහෙසවන අවස්ථාවලදී අධික තෙහෙට්ටුවක් , පපුවේ ගැස්මක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් වහාම සෙවන ඇති සිසිල් ස්ථානයක විවේක ගත යුතුයි. හිසේ බර ගතියක් හෝ ක්ලාන්තයක් ඇත්නම් සෙසු අයට දැන්විය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. හිරු රශ්මියට සම රතු විය හැකියි. සන් ක්‍රීම් මඟින් ඒවා වළක්වාගත හැකිය. මස්පිඩු පෙරලීම් ඇතිවූ විට ලබන සහිත දියර බීම සහ විවේකීව සිටීම කළ යුතුයි. එහෙත් පැයක් ඇතුළත යථා තත්ත්වයට පත් නොවේනම් වෛද්‍ය වරයෙකු වෙත යා යුතු බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා තවදුරටත් අවධාරණය කරන්නේ.