නම ගිය පාසල් අතර පැවැත්වෙන අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගවල විනය ආරක්ෂා කිරීමට පොලීසියත් මැදිහත් වීමට තීරණය කර තිබෙනවා.
පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග ලබන සති අන්තයේදී ආරම්භ කිරීමට නියමිතයි. මෙම ක්‍රිකට් තරගවලට පෙර පාසල්වල ආදි ශිෂ්‍යයන් මෙන්ම සිසුන් ද යතුරු පැදි හා රථ වාහන සංදර්ශන පෙළපාලි පැවැත්වීම දීර්ඝ කාලයක සිට සිදු කළා. මෙවැනි සිද්ධීන්වලදී ප්‍රචණ්ඩකාරී සිදුවීම් හා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ද වාර්තා වීම් ගණනාවක්ම සිදුවුණා.
ඒ හේතුවෙන් විනයානුකූල ආකාරයෙන් හා සහෝදරත්වයෙන් යුතුව මහා ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන සති අන්තයේදී පැවැත්වෙන තර්ස්ටන් ඉසිපතන මහා ක්‍රිකට් තරගයට පෙර පැවැත්වෙන රථ පෙරහැරේදී සහෝදරත්වයෙන් යුතුව කටයුතු කිරීමටත් මතින් තොර විනෝදකාමී සංදර්ශනයක් බවට එම කටයුතු පවත්වාගෙන යාමටත් පියවර ගෙන තිබෙනවා.
සෑම ක්‍රිකට් තරගයකටම මෙම ක්‍රමය අනුගමනය කරන අතර ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාපිටිවලට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද යෙදවෙනු ඇති. මේ සම්බන්ධයෙන් මහා ක්‍රිකට් තරග පැවැත්වෙන පාසල්වල විදුහල්පතිවරුන්, ශිෂ්‍ය නායකයන් මෙන්ම ආදි ශිෂ්‍ය සංගම්වල නිලධාරීන් ද දැනුවත් කිරීමට පියවර ගත් බව පොලීසියේ ප්‍රකාශකයෙකු ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළා.