fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිෂෙල්ගේ මුහුණටම පිළිතුරු දෙන්න ශ්‍රී ලංකාව සූදානමින්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 18:10

ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ දී මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු දැක්විමේදී වාචිකව ඊට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරටට එල්ල වන චෝදනා පිළිබඳ එහිදී සෘජුව පිළිතුරු ලබා දෙනු ඇති. මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍යවරයා ඇතුලු නියෝජිත පිරිස අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

මානව හිමිකම් පිළිබඳ 43 වන සැසිවාරය ජිනීවා හිදි ඊයේ ආරම්භ වුණේ ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සැසිවාරය මාර්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 47 ක මානව හිමිකම් තත්ත්වය මෙවර විමසා බැලෙනු ඇති. ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයට යෝජනා 5 ක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

2015 ඔක්තෝබර් මස 30 /1 දරණ සහ 2017 මාර්තු 34 / 1 දරණ පූර්ව යෝජනා සම්මුති ඇතුළත්ව සකස් කරන ලද ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය පිළිබඳ 2019 මාර්තු 40 / 1 දරණ යෝජනාවෙහි සම අනුග‍්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීම

නිසි මානව හිමිකම් බලතල සහිත එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතන සමග අඛණ්ඩව කටයුතු කිරීම

රජයේ ප‍්‍රතිපත්ති රාමුවට අනුකූලව දේශීයව සැලසුම් කරන ලද ක‍්‍රියාදාමයකට අනුව තිරසර සාමය ළඟා කර ගැනීම සඳහා රජයේ කැපවීම දැනුම් දීම

ශ‍්‍රී ලංකාවට අනුකූලව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ නෛතික ක‍්‍රියාදාමයන් තුළින් අවශ්‍ය කරුණු විසඳීම හා අවශ්‍ය අවස්ථාවල දී ආයතනික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීම

එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව යෝජනාව අවසන් කිරීම සඳහා කටයුතු කිරීම සඳහා වූ රජයේ අභිමතය ප‍්‍රකාශයට පත් කිරීම

මේ අතර වාරයේදී මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මියට ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීමේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට ද නියමිතයි. මේ අතර ලොව පුරා මානව හිමිකම් තත්ත්වය අලුත් කිරිමට හා පුනර්ජීවනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ඊයේ දිනයේ දී ඉල්ලා සිටියා. මෙවර සැසිවාරය ආරම්භයේදී දේශගුණික විපර්යාස හා ගැටුම් පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරමින් ගුටේරස් මහතා කරුණු 7 ක් ඇතුළත් සැලැස්මක් ද එළිදක්වා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්