එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වුණා. සැසිවාරය ලබන මස 20 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දූත කණ්ඩායමක් පිටත්ව ගියා. එම දූත කණ්ඩායමට රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද ඇතුළත්.
ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු පිළිබඳව ලබන 26 වනදා සැසිවාරයේදී සාකච්ඡා කිරීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා දූත කණ්ඩායම කවුන්සිලය වෙත යෝජනා පහක් ඉදිරිපත් කිරීමට නියමිතව සිටිනවා. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු 30/1 සහ 40/ 1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම පිළිබඳ දැනුම්දීමද මෙම යෝජනාවලට ඇතුළත්. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි යෝජනා මාලාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මානව හිමිකම් කවුන්සිලයේ තානාපති එලිසබත් ටිචී පිසිල්බර්ගර් මහත්මිය මුණ ගැසී සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම පිළිබඳ මින් පෙර දැනුම්දීමක් සිදු කළා.කෙසේ වෙතත් සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද රජය සංහිදියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කැප වී සිටින බවයි මෙහිදී සඳහන් කෙරුණේ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් හෙට ඇමතීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරය නිල වශයෙන් එහිදී දැනුම් දීමට නියමිතයි. ලබන 27 වනදා අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂල් බැචලේ මහත්මිය මුණ ගැසීමට නියමිත අතර එහිදී ද වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට අපේක්ෂා කරනවා.