fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිත් පහන් වන මහා ශිව රාත්‍රි දිනයකට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබපැතුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 12:41

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි.

දැනුමේ ආලෝකයෙන් හා අවබෝධය තුළින් ජීවිතවල ඇති මෝහාන්ධකාරය පළවා හැරීම ශිව රාත්‍රිය සැමරීමේ ප්‍රධාන අරමුණයි. තම ආධ්‍යාත්මික ජීවිතය ආලෝකවත් කරගැනීමේ අරමුණෙන් හින්දු බැතිමතුන් පුණ්‍ය කටයුතුවල නිරත වීම මෙම දිනයේ සිදුවනවා.

ශිව රාත්‍රිය අර්ථවත් ලෙස ගතකිරීමෙන් විමුක්තිය උදා කරගත හැකි බවයි එම බැතිමතුන්ගේ විශ්වාසය. ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, දේව ස්ත්‍රෝත්‍ර ගායනය හා විශේෂ පූජා පැවැත්වීම අද දිනය තුළ සිදුකෙරෙන ප්‍රධාන කාර්යයන් වනවා.

විවිධ කැලඹිලි හා ගැටුම් මැද ඉදිරියට යන ලෝකයේ මානසික ශක්තිය උදාකරගත හැකි වන්නේ ආගම තුළින් බව මහා ශිව රාත්‍රිය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. දල්වන පහන් ආලෝකයෙන් සියලු සිත් සතන් බැබලේවායි යනුවෙන් ද ජනාධිපතිතුමා ප්‍රාර්ථනාකර සිටිනවා.

මහා ශිවරාත්‍රිය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ අන්‍යෝන්‍ය ගෞරවය සුරැකීමට සියලු දෙනා කැපවිය යුතු බවයි. උතුම් වූ ශිව රාත්‍රී දිනය සමරන සියලු හින්දු බැතිමතුන්ට සාමය සෞභාග්‍යය පිරි ආලෝකවත් ජීවිතයක් උදාවේවායි අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනාකර සිටිනවා.

මිනිස් වර්ගයා අතර සංහිදියාව සහ සහජීවනය අතිරීමට මගපාදන මහා ශිවරාත්‍රී දිනය තුළින් අර්ථවත් වන්නේ මානව සංහතියේ ශාන්තිය බව පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය,  සංහිදියාව උදෙසා මග කියන අර්ථ පූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් උදාවේවායිද විපක්ෂ නායකවරයා සදහන්කර සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්