අපගේ හමුදා සාමාජිකයන් මානව හිමිකම් උල්ලංඝණය කළවුන් ලෙස නම් කිරීමට වෙනත් රටවලට ඉඩ ලැබුණේ 2015 දී ජගත් මානව හිමිකම් කවුන්සියලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සමඅනුග්රාහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය යහපාලන ආණ්ඩුව එම පාවාදීම කළ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කිරීම පිලිබද නිවේදනයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කරන්නේ. යුරෝපයේ මධ්‍යතන යුගයේ සාමූහික දඩුවම් සිහිගන්වමින් කිසිදු වරදකට චෝදනාවකට ලක් නොවූ යුද හුමුදාපතිවරයාගේ බිරිද හා දරුවන්ටද එම තහන්චියම පනවා තිබෙනවා.
යුදහමුදාපතිවරයා මානවහිමිකම් උල්ලංඝනය කළේයැයි චෝදනා කළද එම චෝදනා කවරේදැයි කිසිවෙක් දන්නේ නැත. නීතියෙන් වැරදිකරුවෙකු වනතුරු අපරාධයකට චෝදනා ලැබූවකු වුවද නිර්දෝශී ලෙස සැළකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබද සම්මුතියේ සදහන් වනවා. එහෙත් එම නියමය ශ්‍රී ලංකා යුදහමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපාන බවක් පෙනෙන්නට නැත. රජය මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.
2015 ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවේ පළමු වගන්තියෙන්ම අපගේ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කර තිබුණි. එසේ වීත් ඊට සමඅනුග්රහය දැක්වීම තුළින් පෙනී යන්නේ යුද්ධය අවසන් වූ කාලයේ සිට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශ්ව එල්ල කළ සියලු පදනම් විරහිත චෝදනා යහපාලන හවුල පිලිගෙන ඇති බවයි. ඒ අනුව මෙම යෝජනාව ලංකාවේ සමඅනුග්රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට රජය තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.
යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල සම්බන්ධයෙන් වන තහංචිය යහපාලන හවුල හෙලා දැක නැත. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ පිලිබද පදනම් විරහිත ප්‍රකාශ සිදු කරද්දී දෙමල ජාතික සන්ධානය එය අගය කර තිබේ.
මින් පෙනී යන්නේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක්පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශමාමක බලවේගත් අනික් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එන තුරු බලා සිටින දේශදෝහීනුත් අතර බෙදීමක් ලෙස බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්න්. මේ අතර මාධ්‍ය හමු කිහිපයදීම මේ පිලිබද අදහස් දැක්වුවා.