fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ විශාලතම සන්ධානය ඉදිරි මැතිවරණයට සූදානම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 19:12

ජාතික බලවේග සමග එකට වැඩකරන රටට ආදරය කරන ජනප්‍රියම නායකයන් රැසකගෙන් සැදුම් ලත් ඉතිහාසයේ විශාලතම සන්ධානය ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉදිරි මැතිවරණයට සූදානම් බව එහි නියෝජිතයන් පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාදීමට නව සන්ධානයට නියත වශයෙන්ම හැකි බව අද පැවති මාධ්‍ය හමු රැසකට එක්වෙමින් එහි නියෝජිතයින් අවධාරණය කළේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචිය සදහා මැතිවරණ කොමිසමට ඊයේ ඉදිරිපත් කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මෙරට දේශපාලන පක්ෂ රැසක සහාය නව සන්ධානයට ලැබී තිබෙනවා. නව සන්ධානයේ නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවුණා. සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහ ලේකම් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් කටයුතු කරනවා. ජාතික සංවිනධායකවරුන් ලෙස පත්කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්.

නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, උප ලේකම්වරයා ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාත් පත්කර තිබෙනවා. උප සභාපතිවරුන් ලෙස උතුරුමැද ආණ්ඩුකාර මහාචාර්ය තිස්සවිතාරණ, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර යන මහත්වරුන් නම්කර තිබෙනවා. නව සන්ධානයේ භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාත් නියෝජ්‍ය ලේකම්වරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් නම් කෙරුණු ලිපි ලේඛන ඊයේ මැතිවරණ කොමිසමට භාරදුන්නා. නව සන්ධානය පිළිබද අදත් ස්ථාන රැසකදී අදහස් පළවුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 19:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්