fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වූහාන් රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාත් COVID-19 බිලිගනී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 17:50

කොරෝනා හෙවත් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් චීනයේ වූහාන් ප්‍රධාන රෝහල් අධ්‍යක්ෂවරයා මියගොස් තිබෙනවා. වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ දිනය තුළ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 98 ක්. ජපාන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිත බව ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය අවධාරණය කරනවා.

කොරෝනා වෛරසය චීනය තුළ ආසාදිත වූ සංඛ්‍යාව මේ වන විට හැත්තෑ දෙදහස් හාරසිය තිස් හයක්. ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1807 ක් පමණ වනවා. චීනයේ ආසාදිතයන් 12000 ක් පමණ මේ වන විට සුවය ලබා සිටිනවා.කෙසේ වෙතත් එරට සෞඛ්‍ය කණ්ඩායම් දැඩි අවදානමකට මුහුණපා සිටිනවා. සෞඛ්‍ය නිලධාරීන් 1700 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

චීනයේ වූහාන් ප්‍රධාන රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා ද වෛරසය ආසාදනය වීමෙන් මියගියා. 51 හැවිරිදි වියේ පසුවූ ලියු සිමින්ග් වෛරසයෙන් මියගිය ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය නිලධාරියායි. මීට පෙරද වෛරසය හේතුවෙන් වෛද්‍යවරයෙකු මියගියා. කොරෝනා වෛරසයෙන් මිය ගිය අයගෙන් වැඩි පිරිස වයස්ගත වූවන්. වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන් මරණයට පත්වීමේ ප්‍රතිශතය 14.8% ක්.

මේ අතර ජපාන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 3700 දෙනාගෙන් 454 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් ටෝකියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සම්බන්ධීකරණය සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන් සමඟ ඔවුන් නිරන්තරයෙන් කතා බහ කරන බවයි තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

කැනඩාව , දකුණු කොරියාව, ඇමෙරිකාව , ඕස්ට්‍රේලියාව වැනි රටවල් නෞකාවේ සිටින සිය පුරවැසියන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකින් පසු රටට ඇතුල්කර ගැනීමට සූදානම්ව සිටිනවා. චීනයෙන් පිටත දැවැන්තම නිරෝධායන ක්‍රියාවලියක් සිදුවුනේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේයි. ජපානයේ පමණක් වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 611 දෙනෙක්. COVID-19 වෛරසය සාමාන්‍ය උණ රෝගයට වඩා විසි ගුණයකින් භයානක බවයි නවතම වර්තාවල දැක්වෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 17:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්