fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මෙහෙයුම ජය ගත් ශ්‍රී ලාංකිකයන් නිදහස් සුව විදිමින් නිවෙස් බලා යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:17

චීනයේ වූහාන්වල සිට මෙරටට රැගෙන විත් දියතලාවේ රදවා සිටි ශ්‍රි ලාංකිකයින් පිරිස සාර්ථක නිරෝධායන කටයුතුවලින් අනතුරුව අද සිය නිවෙස් කරා පිටව ගියා.  මේ අතර චීනයෙන් පිටත කොවිඩ් නයින්ටීන් වෛරසය හෙවත් කොරෝනා ව්‍යාප්ත වීම මන්දගාමී ස්වභාවයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නරගය ලෝකයෙන්ම හුදෙකලා කෙරුණේ ඉන් කිසිවෙකුටත් පිටවීම හා ඇතුළු වීම තහනම් කිරීමත් සමගයි. චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනෙකු වූහාන් නගයෙන් ඉවත් කර ගැනීමට හැකිවුණා. විශේෂ පුහුණුවක් ලැබු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය වූහාන් නගරයට ගොස් එහි සිටි සිසුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ පසුගිය පළමු වනදායි.  අනතුරුවයි සිසුන් දියතලාව යුද හමුදා රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබුවේ. ඔවුන්ට උපරිම පහසුකම් සලසන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ අනුව සාර්ථක ලෙස නිරෝධායන ක්‍රියාවලිය නිම කිරීමෙන් පසු පිරිස  දියතලාවේ සිට කොළඹ බලා අද පැමිණියා.

ශ්‍රී ලාංකික පිරිස අද කොළඹ යුද හමුදා මූලස්ථානය වෙත අද සවස් වරුවේ පැමිණියා. යුද හමුදාපති  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයට එක් වුනා. මෙම මානුෂීය ක්‍රියාන්විතයට එක් වූ සියලු නිලධාරීන් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණා.

මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් නොමැති වුවත් ඒ පිළිබඳ පූර්ණ අවධානයෙන් යුතුව සිටීම වැදගත් බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවදී සඳහන් කළේ.

මේ අතර කොරෝනා වැළඳීමෙන් පුද්ගලයන් එක්දහස් තුන්සිය අසූතුන් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද හැටතුන්දහස් හයසිය පනස් එක දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මිය ගිය පිරිස අතර සෞඛ්‍ය සේවකයන් 6 දෙනෙකු ද සිටිනවා. සහන සේවාවල නිරත වූ සෞඛ්‍ය සේවකයන් එක්දහස් හත්සිය දහසය දෙනෙකුට රෝගය වැළඳුණා. චීනයෙන් පිටත මෙතෙක් වාර්තා වී ඇත්තේ මරණ 3 ක් පමණයි. ඒ හොංකොං, පිලිපීනය හා ජපානයේයි. අසූ හැවිරිදි විය පසුකර සිටි ජපන් කාන්තාවක කොරෝනා රෝගය වැළඳීමෙන් මිය ගොස් තිබෙනවා. ඇය චීනයේ හුබෙයි ප්‍රාන්තය සමග කිසිදු සම්බන්ධයක් නොතිබීම විශේෂත්වයක්. මින් පෙර හොංකොං හි සහ පිලිපීනයේ මිය ගිය පුද්ගලයන් දෙදෙනාම හුබෙයි ප්‍රාන්තයේ සංචාරය කර ආපසු පැමිණි අයයි. ජපානයේ යොකොහමා හි නිරෝධායනයට ලක් කළ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ පුද්ගලයන් තුන්දහස් හත්සිය දෙනා සම්බන්ධයෙන් තවමත් වෛද්‍ය පරික්‍ෂණවලට ලක් කෙරෙමින් තිබෙනවා. එහි යාත්‍රා කරන මගීන් ඔවුන්ගේ කාමරවලට සිමා කිරීමට නෞකාවේ බලධාරීන් කටයුතු කර තිබෙනවා. රෝගය පාලනය කිරිමේ දී දැක්වූ අකාර්යක්‍ෂමතාව හේතුවෙන් හුබෙයි ප්‍රාන්තයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු තනතුරුවලින් පහ කිරීමට ද චීන රජය පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්