fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:41

මධ්‍යම ඇතුලු සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජනාධිපතිතුමා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතුයි. මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්,  කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් කඩිනමින් නිම කළ යුතු ව්‍යාපෘතියක් බව මෙම හමුවේදී අවධාරණය කෙරුණා.

කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු උතුරු,  නැගෙනහිර සහ බස්නාහිර පළාත් සඳහා රථ වාහනවලට කඩිනමින් පිවසීමට හැකියාව පවතිනවා. ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙම මාර්ග පද්ධතියේ අරමුණයි. එමෙන්ම මාර්ග පද්ධති අතර මනා සබදතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් ද නිර්මාණය වීම විශේෂත්වයක්.

ඉංගිරිය සිට රත්නපුරය දක්වා වූ කිලෝමීටර 76 ක මාර්ගය කඩිනමින් ඉදිකර එය ජාතික මාර්ග පද්ධතියට එක්කෙරෙනු ඇති. එය ආරම්භ වන්නේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන්. නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමෙන් අධික මාර්ග තදබදයට විසඳුමක් ලැබෙන බව ද මෙහිදි හෙළි කෙරුණා. දැනට අර්ධ වශයෙන් වැඩ නිම කර ඇති මාර්ග හා පාලම්වල ඉදිකිරිම් කඩිනමින් අවසන් කළ යුතු බවත් ග්‍රාමීය මාර්ග පද්ධති,  සෙසු මාර්ග පද්ධතිවලට සමගාමීව නවිකරණය විය යුතු බවත් ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා.

කොළඹ මාර්ග තදබදයට කඩිනම් විසඳුම් සෙවිමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මෙම හමුවේදී අවධාරණය කළා. අධික තදබදයක් ඇති ස්ථාන හඳුනා ගෙන ගුවන් පාලම් හා උමං පිවිසුම් ඉදිකිරීමට නියමිතයි. දෙමටගොඩ වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළ යුතු බව ද මෙහිදී සඳහන් කෙරුණා. ගාලුපාරේ වාහන තදබදයට විසඳුමක් ලෙස එම මාර්ගයට සමාන්තර මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීම ද රජයේ අපේක්‍ෂාවයි.

සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවරුන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. කොළඹ නගරයට රථ වාහන පිවිසීම අවම කිරීමට සුඛෝපභෝගි බස් රථ හා පාසල් බස් රථ සේවාව විධිමත් කිරීමට ද කරුණු සාකච්ඡා කෙරුණා. කොළඹට පිවිසෙන රථවාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම හා ව්‍යාපාරික ස්ථානවලදී වාහන ගාල් කිරිමේ පහසුකම් සැලසිමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා විදුලි,  ජල හා දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බව ද මෙහිදී අවධාරණය කළා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්