චීනයේ වූහාන්වල සිට මෙරටට රැගෙන විත් දියතලාවේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් පිරිස සාර්ථක නිරෝධායන කටයුතුවලින් අනතුරුව අද පිටව ගියා.
COVID-19 වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නරගය ලෝකයෙන්ම හුදෙකලා කෙරුණේ ඉන් කිසිවෙකුටත් පිටවීම හා ඇතුළු වීම තහනම් කිරීමත් සමඟයි. බොහෝ රටවල් තම වැසියන් වූහාන්වලින් ඉවත් කර ගැනීමට උත්සාහ කළා. ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනෙකු වූහාන් වලින් ඉවත් කර ගැනීමට ශ්‍රි ලංකා රජය ද උපරිම උත්සාහය දැරුවා. ජනාධිපතිතුමන් ඇතුළු වත්මන් රජය කෙරෙහි චීනය තබා ඇති දැඩි විශ්වාසය එම උත්සාය මල්ඵල ගැන්වීමට තරම් ප්‍රභල වුණා. ඒ අනුවයි මෙම 33 දෙනා මව්බිමට රැගෙන ඒමට හැකිවූයේ. ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩලයක් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 1423 දරණ විශේෂ ගුවන් යානය කටුනායකින් පිටත්ව ගියේ පසුගිය 31 වනදායි. වූහාන් නරගයේ සිටි සිසුන් රැගෙන ගුවන් යානය පසුගිය පළමුවනදා පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණියා.
යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මත්තල ගුවන් තොටුපොලේදී ඔවුන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරුණා. අනතුරුව සිසුන් දියතලාව යුද හමුදා රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත විශේෂ බස් රථයකින් රැගෙන යාම සිදු කෙරුණා. එහිදී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසුණා. චීනයේ සිට මෙරටට පැමිණි සිසුන්ට උපරිම පහසුකම් ලබාදීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව දින 14ක කාලයක් රඳවා තබා ගනිමින් ඔවුන් සාර්ථක ලෙස නිරෝධායනයට ලක් කෙරුණා. ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය නොවීමට ශ්‍රි ලංකා සෞඛ්‍ය ක්ෂේත්රය යුද හමුදාව ඇතුළු විශේෂඥයන් වග බලා ගැනීම බෙහෙවින් අගය කළ යුතු කරුණක්. යුද හමුදාවේ මූලිකත්වයෙන් සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් අනතුරුව මෙම පිරිස දියතලාවේ සිට කොළඹ බලා අද පෙරවරුවේ පිටත්වුණා. මෙම පිරිස අද දිනයේදී ජනාධිපතිතුමා හමුවීමට ද නියමිතයි.