fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිසරය වෙනුවෙන් අභීතව පෙනී සිටි නිලධාරිණිය වෙනුවෙන් ජනපතිත් රජයත් පෙනීසිටී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 18:57

පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි වන සංරක්ෂණ නිලධාරිණිය වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු රජය පෙනී සිටින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. නීතිය නිසි පරිදී ඉටුකරන නිලධාරීන් ආරක්ෂා කිරීම රජයේ වගකීම බව ද  අමාත්‍යවරයා අවධාරණය කළා.

 

මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදි ගම්පහ දිසා වන නිලධාරිනීය කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් මධ්‍යයේ ඇය තම ස්ථාවරය දැඩිව ප්‍රකාශ කිරීම හා ඒ පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවීමට පටන් ගැනීමත් සමගයි. හෙක්ටාර 14 කින් යුත් මීගමුව සින්නඩිතෝට්ටම් දූපත සම්බන්ධයෙන් මෙම ගැටළුව ඇති වූයේ 2014 වසරේ සිටයි.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමියේ කඩොලාන ශාක කපා දමා ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට පසුගිය රජය සමයේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ එවකට ධීවර අමාත්‍යවරයාව සිටි විජිත් විජයමුණි සොයිසා මහතාගේ මෙහෙයවීමෙන්. මෙය රජයට අයත් ඉඩමක් බැවින් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට එරෙහිව ගම්පහ වන සංරක්ෂණ කාර්යාල නිලධාරීන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා.

ඒ අනුව ධීවර දෙපාර්තමේන්තුව දූපතට ගෙනවිත් දමා තිබූ පස් ඉවත් කර ගන්නා ලෙසයි  අධිකරණය නියෝග කළේ. එහිදී ගම්පහ දිසා වන නිලධාරිණී දේවානි ජයතිලක රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හමුවේ දැඩිව කියා සිටියේ කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම භූමිය ක්‍රීඩාපිටියක් සැකසීමට ලබාදිය නොහැකි බවයි. එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වුවද නීතිය ආරක්ෂා කිරීමට කැපවූ මෙම නිලධාරිණිය වෙනුවෙන් ජනාධිපතිතුමා හා රජය පෙනී සිටින බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 18:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්