fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාවනැල්ල බුදු පිළිම කැඩූ අය ගැන බුද්ධි අංශ කළින්ම දැනගෙන

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 18:20

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ සාහික් පිළිබදව අදාළ සිද්ධියට පෙර සිටම තමන් බුද්ධි අංශ වෙත ලිඛිතව දැනුම් දුන් බව ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වන රෂීඩ් හජ්ජුල් අක්බර් පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ අද (11) සාක්ෂි දෙමින්.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබාදීම සදහා ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වන රෂීඩ් හජ්ජුල් අක්බර් අද (11) පස්වරු එකට පමණ කොමිෂන් සභාව වෙත පැමිණියා. කොමිසමේ කටයුතු ආරම්භ කරමින් රජයේ අධිනීතීඥවරයා රෂීඩ් හජ්ජුල් අක්බර්ගෙන් විමසා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ සාහික් ට තමාගේ ඇති සම්බන්ධය කුමක්ද යන්නයි.

ඉහත නම් සදහන් පුද්ගලයින් දෙදෙනා තමාගේ සහෝදරයාගේ පුත්‍රයින් වන බව ඔහු කොමිසම හමුවේ සදහන් කළා. ඔවුන් දෙදෙනොගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබදව තමන් දැනුවත් දැයි කොමිෂන් සභාව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් රෂීඩ් හජ්ජුල් ප්‍රකාශ කළේ සාදික් සහ සාහික්ගේ අන්තවාදී ක්‍රියාවන් පිළිබදව මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට පෙර සිටම තමන් ලිඛිතව බුද්ධි අංශ නිලධාරීන් දැනුවත් කළ බවයි. සාදික් සහ සාහික් අන්තවාදී දේශන සහ මතවාදයන් පිළිබදව ජමාතේ ඉස්ලාමික් සංවිධානය පෙර සිටම විරෝධය පළකළ බවත් පසුව ඔවුන් එම සංවිධානයෙන් ඉවත් කළ බවත් රෂීඩ් හජ්ජුල් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියාසිටියා.

එමෙන්ම ජමාතේ ඉස්ලාමික් සංවිධානයට ඇමෙරිකාව,  කුවේටය සහ කැනඩාව යන විදෙස් රටවල රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබෙන බවත් තම සංවිධානය කිසිවිටෙකත් ඒ පිළිබදව මුස්ලිම් කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවත් කොමිසම හමුවේ ඔහු කියාසිටියා.

එලෙස ලැබුණු මුදල් පිළිබදව අමාත්‍යාංශය දැනුවත් නොකළේ මන්දැයි කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් රෂීඩ් හජ්ජුල් සදහන් කළේ තමන් එවැනි දැනුම් දීමක් සිදුකළ යුතු බවට නොදන්නා බවයි.  අනතුරුව කොමිෂන් සභාව රෂීඩ් අජ්ජුල්ගෙන් විමසා සිටියේ තමන් සහරාන් හෂීම් පිළිබදව දන්නවාද යන්නයි. ඊට පිළිතුරු ලබාදුන් ඔහු සදහන් කළේ තමන් කිසි දිනෙකත් සහරාන් හෂීම් දැක නැති බවයි.

නමුත් සහරාන් ඔබට දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවාද යන්න ඔහුගෙන් වැඩිදුරටත් විමසා සිටියා. ඊට පිළිතුරු ලබාදෙමින් රෂීඩ් හජ්ජුල් සදහන් කළේ 2010 වසරේ දී සහරාන් හෂීම් තමාට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත් එහිදී ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ ඉගැන්වීම් පිළිබදව අභියෝගයට ලක්කළ බවත් සදහන් කළා.

ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ ඉගැන්වීම් පිළිබද ඕනෑම අවස්ථාවක විවාදයකට පැමිණීමට සූදානම් බවද සහරාන් හෂීම් කියාසිටි බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්