කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විශේෂඥයන් 400 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ජිනීවා හිදී මේ සතියේ පැවැත්වෙනවා.
කොරෝනා වෛරසය මේ වන විට රටවල් 28 කට පැතිර තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. වෛරසයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 908 දක්වා ඉහළ ගියා. චීනය පුරා පුද්ගලයන් හතළිස්දහස් එකසිය හැත්තෑඑක් දෙනෙකුට රෝගය වැළඳී තිබෙනවා. තවත් එක් ලක්ෂ අසූහත්දහසකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකෙරෙමින් පවතින බවයි චීනයෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. නව අවුරුදු නිවාඩුව වෙනුවෙන් විදේශයන් හි සිට චීනයට පැමිණි පුද්ගලයන් මේ වන විට ආපසු එම රටවල් බලා යමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රටවල් රැසක් චීනයේ සිට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ චීනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා විම ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි. ඒ අනුව වෛරසය පැතිර යාම වර්ධනය විම අඩාල වි තිබෙනවා. චීන මහ බැංකුව කොරෝනා පාලනයට රුපියල් බිලියන 43 ක මුදලක ප්‍රතිපාදන වෙන්කර ඇති බව සඳහන්. ජපානයේ මගී ප්‍රවාහන නෞකාවක සිටි පුද්ගලයන් 60 දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බව තහවුරු වුණා. කොරෝනා වෛරසය පැතිර ගිය රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 28 න් දෙකක පමණක් මරණ වාර්තා වුණා. ඒ පිලිපිනයේ හා හොංකොං හිදීයි. මහා බ්‍රිතාන්‍යයෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම ඉතා අවම වුවද ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ මනා අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=VivkxmIDjYI&feature=youtu.be&fbclid=IwAR2EvapngdSFExEBvrL9SvtUwz11Hq24LXN7GO2dCdXDCsT7rF9-7dR8YoY”]
මේ අතර කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් ඉස්ලාම් ආගමික වැඩසටහනක් වව්නියාව මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුණා. වෛරසයෙන් මිය ගිය හා ආසාදනයට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් ආශිර්වාද පැමිණ වීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධාන කර තිබෙනවා. වව්නියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.