පාස්කු ප්‍රහාරය ගැන ලෙඩ ඇදේ සිටම සාක්ෂිකරුවෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්
Related Articles
පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලන ජනාධිපති කොමිසම අද (09) දිනයේත් සාක්ෂි සටහන් කරගත්තා. හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් නමැතිත්තායි අද (09) සාක්ෂි ලබා දුන්නේ.
ආබාධ තත්ත්වයේ පසුවන සාක්ෂිකරු රෝගීන් සදහා වන විශේෂ ඇදක තබා සාක්ෂි විමසීම සිදු කෙරුණා.
මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීන් නමැත්තාගේ හිසට වෙඩි වැදීම හේතුවෙන් ඔහු තවමත් රෝගී තත්ත්වයේ පසුවනවා. ඒ හේතුවෙනුයි විශේෂිත ඇදක තබා සාක්ෂි විමසීම සිදු කෙරුණේ. මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිලිමවලට හානි සිදු කිරීම ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහාය දැක්වීම හේතුවෙන් තමාට වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ.මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිලිමවලට හානි කිරීම පිලිබද මුලින්ම දැනුවත් කළේ කවුදැයි කොමිසම විමසා සිටියා.
කබීර් හෂීම් මහතාගේ ඥාතියකු 2018 වසරේ දෙසැම්බර් 27 වන දින උදෑසන 05 ට පමණ දුරකතනයෙන් තමා අමතා ඒ බව දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ. එම ස්ථානයට ගොස් වැඩිදුර තොරතුරු හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාට ලබා දෙන ලෙසද එම පුද්ගලයා පැවසූ බවද සැකකරු ප්‍රකාශ කළා.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව මුතීෆ් නමැත්තකු සොයා ලැක්ටො වත්ත ප්‍රදේශයට ගිය බවත් එහි පොල්වත්තකදී ඔහු හමු වූ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා.
එම ඉඩමේ කිසියම් ගොඩනැගිල්ලක් තිබුනේදැයි කොමිසම ප්‍රශ්න කල අවස්ථාවේ ඔහු කියා සිටියේ එහි ගොඩනැගිල්ලක් තිබූ බවයි. එහි තිබි ඩෙටනේර් 99 ක්. කූඩාරම් කිහිපයක්, කුරානයක්, ඩිජිටල් කැමරාවක් ඇතුළු උපකරණ රැසක් එහි තිබී හමු වූ බව් ඔහු ප්‍රකාශ කළා.
ඔහුට වෙඩි වැදුනු ආකාරය පිලිබද කොමිසමා විමසා සිටියා. රාත්‍රියක සිය නිවසේ නිදා සිටියදී නාදුනන අයෙකු පැමිණ වෙඩි තබා පලා ගිය බව ඔහු සාක්ෂි දෙමින් කියා සිටියා. වෙඩි වැදීම හේතුවෙන් වම් කකුල සහ වම් අත අක්‍රිය තත්ත්වයෙන් පවතින බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ.