fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන කත හැර සැකපිට රෝහල්ගත කළ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 11:55

චීන ජාතික කාන්තාව හැර නව කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියෙකු මෙතෙක් මෙරටින් හමුවූයේ නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ස්ථාන කිහිපයකින් සැක පිට කිහිප දෙනෙකු රෝහල්කරා යොමු වී තිබුණද ඒ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට සොයා ගෙන නැහැ.

චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ වන විට 34546 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි චීනයෙන් ලැබෙන නවතම වාර්තා සදහන් කරන්නේ. එමෙන්ම රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පමණක් පුද්ගලයන් 1280 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. ඒ අතුරින් 1193 දෙනෙකුම හුබෙයි ප්‍රාන්තයේ වීම විශේෂත්වයක්. හොංකොං හා තායිවානයෙන් ද ආසාදිතයන් පිළිබද වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. හොංකොං හි ආසාදිතයන් 26 දෙනෙකු මැකාවු හි 10 දෙනෙකු හා තායිවානයෙන් 16 දෙනෙකු සොයා ගැනුණා.

කොරෝනා වෛරසය සාස් මට්ටමේ එකක් බවට සිංගප්පූරුව දැනටමත් අනතුරු අගවා තිබෙනවා. එරටින් ආසාදිතයන් 33 දෙනෙකු සොයා ගැනුණා. මතුව ඇති තත්ත්වය හමුවේ චීනයේ සිට පැමිණෙන ඕනෑම අයෙකු සති දෙකක කාලයක් නිරෝධායන වැඩපිළිවෙලට යොමු කිරීමට හොංකොං රාජ්‍ය පියවර ගත්තා. චීනයේ ද වෛද්‍ය සේවා පුළුල් කර තිබෙනවා. ඇදන් 1600 කින් යුත් තවත් රෝහලක් චීනයේ දී අද විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම නව කොරෝනා වෛරසය පිළිබද මුලින්ම හෙළිකළ එම වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය ලී වෙන්ලියෑන්ග් නමැති වෛද්‍යවරයා කළ අනාවරණ හා ඔහුට ප්‍රතිකාර කළ ආකාරය පිළිබද විමර්ශන සිදු කෙරෙනවා. මෙම වෛද්‍යවරයා මිය යාම සම්බන්ධයෙන් ලොව පුරා දැඩි අවධානය යොමු වුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයට මුහුණ දීම සදහා පවත්නා සූදානම පිළිබදව ද විශේෂ අවධානයක් යොමු ව තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණයි. කිහිප දෙනෙකු රෝහල්වලට සැක පිට ඇතුළත් වුවද අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැති බව වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්