කොළඹ ආනන්ද විද්‍යාලයීය නව සත්මහල් ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. එම විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම හා එකම විධායක ජනපති ලෙස රාජපක්ෂ මැතිතුමා අතින් මෙය විවෘත කිරීම ඓතිහාසික අවස්ථාවක්.
ආනන්ද විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. විද්‍යාලයීය විහාර මන්දිරයේදී ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිතුමා පෝතක බාලදක්ෂයින්ගේ පිළිගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින්ගේ යෂ්ටි උත්තමාචාර මධ්‍යයේ පීඨීකාවට සම්ප්‍රාප්ත වුණා. මාතෘභූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරු ආනන්දියන් සිහිකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූවා. එමෙන්ම විද්‍යාලයීය ආදි කර්තෘවරුන් සමරා හෙන්රි ස්ටිල් ඕල්කට් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු වුණා. මෙම සත්මහල් ගොඩනැගිල්ල සදහා ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් මුල්ගල තැබුනේ 2015 වසරේ ජනවාරි පළමුවනදායි.
මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත්මහල් ගොඩනැගිල්ල මෙය වන අතර ඒ සදහා වැය කළ මුදල රුපියල් කෝටි 62 ක්. කණිෂ්ඨ, ද්විතීක අංශයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් පන්ති කාමර 44 ක්, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, සෞන්දර්ය විෂයන් සදහා වූ කාමර, විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලය හා ගුරු විවේකාගාරය මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානයක් ද ඊට ඇතුළත්. උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා සදහන් කළේ වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපායමාර්ග තුළින් අධ්‍යාපනයේ දැඩි වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද, කතානායක කරූ ජයසූරිය, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/mzGk3QB4sqE”]