කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ ඉදි කෙරුණු ඇදන් දහසකින් යුත් නව රෝහල අද විවෘත කෙරෙනවා. මේ වන විට වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 362ක් දක්වා ඉහළ ගොසින්. ආසාදිත සංඛ්‍යාව 17000 ඉක්මවනවා.
මේ අතර චීනයේ වෙන්ෂු නගරයට ද ඇතුල්වීම සහ පිටවීම තහනම් කර නගරය වසා දමා තිබෙනවා.
චීනයේ වූහාන් ප්‍රාන්තයේ සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වෛරසය ආසාදනයට මුහුණ දීම සඳහා ඇදන් දහසකින් යුත් රෝහලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ පසුගිය 24 වනදායි. කොරෝනා වෛසරය ඇතැයි සැක කෙරෙන පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 21558ක් බවයි වාර්තා සඳහන් කරන්නේ. එක්ලක්ෂ පනස් තුන්දහසකට ආසන්න පිරිසක් සෞඛ්‍ය පරික්ෂාවන්ට ලක්කරමින් සිටිනවා. චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු සඳහා සෞඛ්‍ය සේවකයින් 8000ක්. යොදවා ඇති බවයි වාර්තා වන්නේ. චීනයෙන් පිටත රටවල වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 150ක්. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත මියගිය පළමු පුද්ගලයා ඊයේ පිලිපීනයෙන් වාර්තා වුණා. ඇමෙරිකාවෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 11 ක්. වූහාන් ප්‍රාන්තයේ සිටි තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් 11 දෙනෙකු බ්‍රිතාන්‍ය වෙත ගෙන්වාගෙන තිබෙනවා.
මේ අතර චීනයේ වූහාන් සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් පිරිස දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ විශේෂ නේවාසික මධ්‍යස්ථානයේ තවදුරටත් පසුවනවා. දිනකට තුන්වරක් ඔවුන් වෛද්‍ය පරික්ෂාවන්ට ලක් කෙරෙන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කළේ. විශේෂයෙන් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය විටින් විට පරික්ෂා කරන බවයි ඒ මහතා තවදුරටත් කියා සිටියේ. වෛද්‍ය උපදේශකයින් , වසංගත රෝග විද්‍යාඥයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සිසුන් දින 14 ක කාලයක් පූර්ණ නිරෝධායන කටයුතුවල යෙදවීමට නියමිතයි.
ශ්‍රී ලංකාව තුළ හදුනාගත් එකම කොරෝනා වෛරස ආසාදිතයා වන චීන ජාතික කාන්තාව සුවය ලබමින් සිටියද ඇය තවදුරටත් රෝහලෙහි රඳවා තබා ගන්නා බව සෞඛ්‍ය අංශ පවසනවා. විශේෂයෙන් මේ මොහොතේ ඇය චීනයට යැවීම සම්බන්ධයෙන් ඇයගේ මානසික තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.