fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාවනැල්ලේ බුදු පිළිම කැඩුවේ කොහොමද? ඇසින් දුටුවෙකුගේ සාක්ෂිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 12:12

මාවනැල්ලේ බුදු පිළිම කැඩුවේ කොහොමද? ඇසින් දුටුවෙකුගේ සාක්ෂිය

2018 වර්ෂයේ මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ සාක්ෂි ලබා දුන්නා. අදාළ සිදුවීමේ පරීක්ෂණ ප්‍රමාදවීමට දේශපාලන අතපෙවීමක් සිදු වූ බවට තමන් තුළ සැකයක් සිදුවන බවයි එම සාක්ෂිකරුවන් කොමිසම හමුවේ සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාව ඊයේ උදෑසන නවයට පමණ රැස් වුණා. මෙහිදී ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ 2008 දෙසැම්බර් මස 26 වන දින මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය පිළිබඳව ඇසින් දුටු සාක්ෂි කරුවෙක්. අදාළ දිනයේ අලුයම 4.00 ට පමණ තමාට ත්‍රීරෝද රථයකින් කුළී ගමනක් යාමට නියමිතව තිබූ අතර ඒ සඳහා සූදාම්වීමට තමන් අලුයම 3.30 ට පමණ අවදි වූ බව අදාළ සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියා. එම අවස්ථාවේදී තමන්ගේ නිවසට මීටර් 30 ක් පමණ දුරින් පිහිටි බුදුපිළිමය ඇති ප්‍රදේශයෙන් යම් ශබ්දයක් ඇසුණු බවත් ඉන් අනතුරුව තමන් ඒ දෙසට දිව ගිය බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. එහිදී ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ බුදු පිළිමයට හානි සිදුකර පළා යන අයුරු තමන් දුටු බවත් ඒ පිළිබඳව තමන් කෑ ගසා අවට පිරිස්වලට දැනුම් දුන් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අනතුරුව යතුරුපැදිය පණගන්වා පළා යන අවස්ථාවේදී තමන් යතුරුපැදියේ ගමන් ගත් එක් සැකකරුවෙකුගේ කර මතට පැන ඔහු සමඟ පොර බදා අදාළ සැකකරු තම ග්‍රහණයට ගත් බවත් ඉන් අනතුරුව ගම්වාසීන් පැමිණ සැකකරු අල්ලා ඒ අසළ තිබූ කණුවක බැද දැමූ බවත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ඇසින් දුටු සාක්ෂිකරු ප්‍රකාශ කළා. තමන් ඇතුළු ජනතාව සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අල්ලා දී තිබියදීත් පාස්කු ප්‍රහාරය අවසන් වනතුරුම පොලිස් නිලධාරීන්ට අනෙක් සැකකරුවා අල්ලා ගැනීමට නොහැකිවීම පුදුමයට කරුණක් බව සාක්ෂිකරු මෙහිදී කොමිසම හමුවේ කියා සිටියා. මෙලෙස පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට යම් දේශපාලන හස්තයක් මැදිහත් වූයේ දැයි තමන්ට සාධාරණ සැකයක් මතුව ඇතැයි සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම තමන් ඇතුළු සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද සාක්ෂිකරු මෙහිදී කොමිසමෙන් ඉල්ලා සිටියා. කොමිසම ලබන 28 වනදා යළි කැඳවීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo