දෙමව්පියන්ට ලෝකයේ ඇති ලොකුම වස්තුව දරුවන්. ජාතියක අනාගත බලාපොරොත්තුව වන්නේ ද දරුවන්. විවිධ ආබාධවලට ලක්වුව ද අත්නොහැර ඒ දරුවන් රැක බලා ගන්නා ක්‍රමයක් දැන් ක්‍රියාත්මකයි.
මෙරට දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු කායික හෝ මානසික ආබාධයකින් පසුවනවා. ඒ අනුව ආබාධිත භාවය ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන අවසන්. කෙසේ වුව ද කල්තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් දරුවන්ගේ එම ආබාධවලට ප්‍රතිකාර කළ හැකියි. එකී ජාතික අවශ්‍යතාව සපුරාලමින් මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය හෙවත් ආයති ජාතික මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉඩමක් ලබා දී මේ සඳහා අවශ්‍ය වෛද්‍ය සේවාවන් ද එම පීඨය මගින් ක්‍රියාත්මක කරනවා.
පෞද්ගලික ආයතන හා සංවිධාන රැසක දායකත්වය මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට ලැබී තිබෙනවා. මාස 13 ක් වැනි කෙටි කාලයක් තුළදී ආයති මධ්‍යස්ථානය ඉදිකළේ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්. මෙය ඉදිකිරීමට රුපියල් කෝටි 55 ක මුදලක් වැය කෙරුණා. මෙරට ඕනෑම ආබාධිත දරුවෙකුට මෙම මධ්‍යස්ථානයෙන් නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකියි. දරුවන්ට කායික හෝ මානසික ආබාධ තිබෙන බවට සැක මතුවුවහොත් කල්වේලා ඇතිව මෙම මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් ප්‍රතිකාර කටයුතු පහසු වනවා.
කථන හා භාෂා, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් හා වෘත්තීය චිකිත්සාවන් ඇතුලු සේවාවන් මෙමගින් සැලසෙනවා. ආයති මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි සියලු අංශ නිරීක්ෂණය කළා. දරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කතාබහක නිරත වීමට ද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.