fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූජිත්ගෙන් ජනාධිපති කොමිසමේදී හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 18:11

පූජිත්ගෙන් ජනාධිපති කොමිසමේදී හෙළිදරව්වක්

පොලීසිය සිදු කරන පරික්‍ෂණවලට සෑම කාලයකදීම අඩු වැඩි වශයෙන් දේශපාලන බලපෑම් එල්ල වූ බව අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දීම සදහා අද (25) උදෑසන 10 ට පමණ කොමිසම වෙත පැමිණියා. එහෙත් වෙනත් සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි සටහන් කර ගැනීම හේතුවෙන් පූජිත් ජයසුන්දර මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම ආරම්භ වුණේ පස්වරු 2 ට පමණ. සාක්‍ෂි ලබා ගැනීම ආරම්භ කිරීමට පෙර කොමිසමේ සභාපතිවරයා පූජිත් ජයසුන්දර මහතා අමතමින් කියාසිටියේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පමණක් අද (25) දිනයේ සාක්‍ෂි විමසන බැවින් ඊට අදාළව පමණක් පිළිතුරු ලබා දෙන ලෙසයි.

ඒ අනුව ප්‍රශ්න ඇසීම ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරිය විමසා සිටියේ 2018 දෙසැම්බර් 23,  24 හා 26 දිනයන් හි මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වූයේ කෙසේ ද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ කෑගල්ල පොලිස් කොට්ඨාසය යටතේ අදාළ පරික්‍ෂණ සිදුකෙරුණු අතර සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා එම පරික්‍ෂණ භාරව කටයුතු කළ බවයි. අනතුරුව තමා අදාළ පරික්‍ෂණ සීඅයිඩීයට භාර දුන්නේ ද යන්න කොමිෂන් සභාව ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා කියාසිටියේ මාවනැල්ල පොලීසිය හා කෑගල්ල පොලිස් කොට්ඨාසය මගින් සිදු කළ පරික්‍ෂණවල යම් යම් මන්දගාමී ස්වභාවයක් පෙනුණු බැවින් 2018 දෙසැම්බර් 31 වන දින ලිඛිත අනුමැතියක් මගින් අදාළ පරික්‍ෂණ සීඅයිඩීයට භාර දීමට තමන් කටයුතු කළ බවයි.

ඒ පිළිබඳ තමන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට ලිඛිතව දැනුම් දුන් බව ද ඔහු කියාසිටියා. මෙම පරික්‍ෂණ කටයුතු සීඅයිඩීයට භාර දුන්නේ ශානි අබේසේකර මහතා මාර්ගයෙන් දැයි කොමිසම පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසා සිටියා. තමා එවැන්නක් සිදු නොකළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ මාර්ගයෙන් තමන් අදාළ පරික්‍ෂණ සීඅයිඩීයට ලබා දුන් බවත් පූජිත් ජයසුන්දර මහතා මෙහිදී කියාසිටියා.

අනතුරුව 2018 දෙසැම්බර් 29 වන දින 071 8591002 යන පූජිත් ජයසුන්දර මහතාගේ දුරකථන අංකයට 077 770 77 86 යන අසාද් සාලි මහතාගේ දුරකථන අංකයෙන් පස්වරු 12 යි නවයට පමණ දුරකථන ඇමතුමක් ලැබුණේ ද යන්න කොමිසම විමසා සිටියා. පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා කියාසිටියේ අසාද් සාලි මහතාගෙන් එදින දුරකථන ඇමතුමක් ලැබුණු නමුත් අදාළ කාලය හරිහැටි තමන්ට මතක නැති බවයි. අදාළ දුරකථන ඇමතුමෙන් අසාද් සාලි මහතා කිව්වේ කුමක්දැයි කොමිසම විමසා සිටියා. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු භාර දිය හැකි බවත් ඒ සඳහා සම්බන්ධ කර ගත යුතු පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳවත් අසාද් සාලි ‍මහතා එම දුරකථන ඇමතුමෙන් තමන්ට ප්‍රකාශ කළ බවයි පූජිත් ජයසුන්දර මහතා කියාසිටියේ.

ඒ මොහොතේදීම තමන් අසාද් සාලි මහතාට අදාළ විමර්ශනය සිදු කරන සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාගේ දුරකථන අංකය ලබා දුන් බවත් පූජිත් ජයසුන්දර මහතා සාක්‍ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. භාර දෙනවා යනුවෙන් අදහස් කළේ කුමක්දැයි කොමිසම යළිත් පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසීමේදී ඔහු කියාසිටියේ බුදු පිළිම කැඩීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනාගේ පියා ඥාතියෙකු හෝ ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන පුද්ගලයෙකු අසාද් සාලි මහතා දන්නා හෙයින් ඔවුන් මාර්ගයෙන් අදාළ සැකකරුවන් පොලීසියට භාර දීමට හැකියාව ඇති බව අසාද් සාලි මහතා පැවසූ බවයි.

මේ අතර අසාද් සාලි මහතා ආරක්‍ෂක ලේකම්වරයා සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වූ රැස්විමක් පිළිබඳව ද කොමිසම මෙහිදී ප්‍රශ්න කළා. එවැනි රැස්වීමක් අවශ්‍ය බවට අසාද් සාලි මහතා ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කර තිබූ බවත් ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා,  තමන් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු අදාළ රැස්වීමට කැඳවූ බවත් ඔහු මෙහිදී කියාසිටියා. මේ අතර එම රැස්වීමේදී අසාද් සාලි මහතා අන්තවාදී කණ්ඩායමක් පිළිබඳ හෙළි කළ අතර කාන්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදීන් පිරිසක් පවත්වන සම්මන්ත්‍රණ කිහිපයක් පිළිබඳව ද දැනුම් දුන් අතර එම තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වූයේ දැයි කොමිසම විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ එවැනි පිරිස් සම්මන්ත්‍රණ පැවැත්වීම සාමාන්‍ය යෙන් සිදුවන කරුණක් නිසා මෙම තොරතුරු නිරවද්‍යභාවය පිළිබඳ තහවුරු කරගත නොහැකි බැවින් අදාළ කාරණය සම්බන්ධයෙන් පියවරක් නොගත් බවයි. අනතුරුව තමන්ට මෙම කොමිසම හමුවේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පමණක් යම් ප්‍රකාශයක් සිදු කිරීමට ඇත්දැයි කොමිසම විමසා සිටියා.

අද එවැනි අවස්ථාවක් අවශ්‍ය නොවන බවත් ඉදිරි දිනකදී කොමිසම හමුවේ තමන් සියලු කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන බවත් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. අනතුරුව පූජිත් ජයසුන්දර මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අසාද් සාලි මහතාට කොමිසම  අවසර ලබා දුන්නා. ප්‍රශ්න අසමින් අසාද් සාලි මහතා විමසා සිටියේ දුරකථනයෙන් මා දැනුම් දුන්නේ මට අදාළ සැකකරුවන් දෙදෙනා භාරදිය හැකි බව ද යන්නයි. ඊට පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ මා හට හැඟී ගියේ එවැන්නක් බවයි. එසේත් නැත්නම් එවැනි නිශ්චිත කරුණකට මිස එවැනි අවස්ථාවක අසාද් සාලි මහතාට මා ඇමතීමට කිසිදු අවශ්‍යතාවක් නැති බව ද පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ කියාසිටියා.

අසාද් සාලි මහතා විසින්ම භාර දෙන බව මෙයින් ප්‍රකාශ නොවුණ ද ඔහු මැදිහත් වී අදාළ සැකකරුවන් දෙදෙනා භාර දීමට කටයුතු කරනු ඇතැයි ඇමතුමෙන් හැඟී ගිය බව පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අසාද් සාලි මහතා ඉදිරිපත් කළ අනෙකුත් ප්‍රශ්නවලට කොමිසමෙන් බාධා කෙරුණු අතර එවැනි ප්‍රශ්න මෙම අවස්ථාවට නොගැලපෙන බව කොමිසම දැනුම් දුන්නා.

ඒ අනුව කොමිසමේ වැඩ කටයුතු අවසන් කෙරුණු අතර ලබන 28 වනදා දක්වා කොමිසම කල් තැබුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo