මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවූයේ නැති බව සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවේ සාක්ෂි ලබාදෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේදී දෙවන දිනටත් සාක්ෂි ලබාදීම සදහා අද (24) උදෑසන නවයට පමණ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා කොමිසම වෙත පැමිණියා. මෙහිදී කොමිසමේ කටයුතු ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරිය සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් විමසා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩීම සිදු කෙරුණේ කුමන දිනයන්හිදී ද යන්නයි.
ඊට පිළිතුරු ලබා දුන් සහකාර පොලිස් අධිකාරිවරයා සදහන් කළේ 2018 – 12 වන මස 23 වන දින පළමු ප්‍රහාරය එල්ල වූ බවත් 2018 – 12 වන මස 26 වන දින බුදු පිළිම කැඩීමේ දෙවන සිදුවීම වාර්තා වූ බවත්ය. ඒ අනුව මෙම සිදුවීම පිළිබද විමර්ශනය කිරීම සදහා තවත් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මක වූ බව සාක්ෂි ලබාදෙමින් තෙන්නකෝන් මහතා සදහන් කළා.
23 වන දින සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු පිළිබදව අනාවරණය නොවූවද 26 වනදා සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනෙකුත් සැකකරුවන් පිළිබද අනාවරණය වූ බව පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා කොමිසම හමුවේ සදහන් කළා. එමෙන්ම අද වන විටත් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 දෙනා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි සහකාර පොලිස් අධිකාරිවරයා සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් සදහන් කළේ.
මෙම පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් ලෙස නිලධාරීන් යෙදවූයේ නැති බවත් 2019 ජනවාරි තුන්වන දින තමන් මේ පිළිබදව පූජිත් ජයසුන්දර මහතාට ලිපියක් මගින් කරුණු දැක් වූ බවත් සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
හෙට (25) දිනයේදී කොමිසමේ සාක්ෂි ලබාදීම සදහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.