සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 01.30ට හරාරේ ක්රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ප්‍රබල සටනක් ලබා දීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. 2017 වසරේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගනු ලැබුවේ ලකුණු 388ක වාර්තාගත ඉලක්කයක් හඹා යමින්. කෙසේ වෙතත් මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශුරතාවලිය යටතට අයත් වන්නේ නැහැ. සින් විලියම්ස් නායකත්වයට පත් වීමෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රිඩා කරන පළමු ටෙස්ට් තරගය ද මෙයයි. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 18ක් පවත්වා ඇති අතර ඉන් තරග 13ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු තරගයක් ජයගෙන නොමැති අතර ටෙස්ට් තරග 05ක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.